විදෙස් - සබඳතා ! | දිනමිණ


 

විදෙස් - සබඳතා !

මැදපෙරදිග රටවල තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී නව රජයට සහයෝගය දක්වන බව කියා සිටියෝ ය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික සහයෝගය ලබාදීමට ද, රටවල් අතර සාංස්කෘතික බැඳීම් ප්‍රවර්ධනය කිරීමට ද එම නියෝජිතයන් එකඟත්වය පළකර තිබේ. මැදපෙරදිග රටවල තානාපති සංසදයට, ක්වේටය, ඕමාන් රාජ්‍යය, ඊජිප්තුව, කටාර්, ඉරාකය, ලිබියාව හා පලස්තීනය යන රටවල් අයත් වේ. පලස්තීනය හැර අනෙක් සෑම රාජ්‍යයක් ම ආර්ථික අතින් පොහොසත් ය. ඉරාකය හා ලිබියාව දේශපාලන ගැටුම් නිසා අර්බුදයකට ගොස් තිබුණ ද තෙල් සම්පත අතින් සවිමත් ය.

ඔස්ට්‍රේලියාව, මහාබ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාවේ නව රජයට හා අභිනව ජනාධිපතිවරයාට සහයෝගය දක්වන බව මීට කලින් ප්‍රකාශ කර තිබිණි. මෙයින් පෙනී යන්නේ ලෝකයේ බලවත් රාජ්‍යයන් සේම මධ්‍යම ප්‍රමාණයේ බලයකින් යුතු රාජ්‍යයන් ද ශ්‍රී ලංකාවේ නායකයා කෙරෙහි මෙන් ම නව රජය කෙරෙහි ද විශ්වාසය තබා කටයුතු කරන බව ය. එය ඉතා සුබවාදී ආස්ථානයකි. ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලා ගමනක් යා නොහැකි ය. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් හැමවිට ම පාහේ ලෝකයේ හොඳ හිත ආරක්ෂා කරගැනීම වැදගත් ය. අපගේ ආර්ථික දියුණුවට අදාළ සහයෝගය ලබාගත හැකි හොඳම උපායමාර්ගය එය වෙයි.

රටක අනාගතය තීන්දු කළ හැකි ප්‍රධාන සාධකයක් වන්නේ එම රාජ්‍යයෙහි නායකයන් ගෙන යන විදේශ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකාවේ වමට බර ආණ්ඩු නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර දකුණට බර ආණ්ඩු බටහිරට වැඩි නැඹුරුතාවක් ඇතිව විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියේ ය. ලෝකයේ පැවැති එක් බල කඳවුරක් බිඳ වැටී ඇති බැවින් ද බලවත් රාජ්‍යයන් කිහිපයක් ලෝක ආර්ථිකය අල්ලාගෙන ඇති බැවින් ද අද තත්ත්වය වඩාත් සංකීර්ණ වෙයි. අද වනවිට බල කඳවුරු නොව; බලවත් රාජ්‍යයන් කිහිපයක් වෙන-වෙනම සිය ආධිපත්‍යය සඳහා තරඟවදිමින් සිටින බව දැකගත හැකි ය. චීනය, අමෙරිකාව, ජපානය, ඉන්දියාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ හැරෙන්නට යුරෝපා සංගමය වෙනම තරග බිමට පිවිස සිටී.

විදේශ සබඳතා සම්බන්ධයෙන් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු කාලයක් පැමිණ ඇතැ’යි කීම වඩා නිවැරැදි ය. අමෙරිකාව, චීනය, ජපානය, යුරෝපා සංගමය මෙන් ම ඉන්දියාව ද අපට අතිශයින් ම වැදගත් ය. ඒ හැරෙන්නට ආසියාවේ වැදගත් තැනක් මැදපෙරදිග රටවලට ලැබේ. ලෝක ආර්ථිකය හසුරුවනු ලබන ප්‍රධාන සාධකයක් වූ ඛනිජ තෙල් සම්පත බහුලව ඇත්තේ මැදපෙරදිග රාජ්‍යයන් සතුව ය. මැදපෙරදිග රාජ්‍යයන් හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට සැලැකිය යුතු ඉතිහාසයක් ද තිබේ. මැදපෙරදිග රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ගණන ද සුළුපටු නැත. මැදපෙරදිග යනු ශ්‍රී ලංකාවට අත්හැරිය නොහැකි කලාපයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ කිසිදු බලවත් රාජ්‍යයකට හෝ කිසිදු ජගත් සංවිධානයකට හෝ ගැති නොවී ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස්ව විදේශ සබඳතා පවත්වාගෙන යෑම බව පැහැදිලි ය. ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද සඳහන් වී ඇත. අමෙරිකාවට, චීනයට, යුරෝපා සංගමයට පමණක් නොව; ඉන්දියාවට වුව ගැති නොවී රජයේ දේශපාලන හා ආර්ථික කටයුතු මෙහෙයැවීමක් ඉන් අපේක්ෂා කළ හැකි ය. චීනයට වැඩි නැඹුරුතාවක් දැක්වීම ඉන්දියාවේ මෙන් ම අමෙරිකාවේ ද නොසතුටට හේතුවක් වන්නට පුළුවන. අපේ ඇතැම් පාලකයන් චීනයට දැක්වූ නැඹුරුතාව වැඩි බව ද, ඇතැම් පාලකයන් ඉන්දියාවට දැක්වූ නැඹුරුතාව වැඩි බව ද පෙනීගොස් තිබේ. අවශ්‍ය වන්නේ බලවත් රටවල විශ්වාසය දිනා ගනිමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම ය.

ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික පිහිටීමට අනුව කලාපීය වශයෙන් මෙන් ම ගෝලීය වශයෙන් ද ඉතා වැදගත් ස්ථානයක් රටට හිමිවී ඇත. හම්බන්තොට වරායට මදක් පහළ සාගර කලාපයෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ ප්‍රවාහන, නාවුක ගමන් මාර්ගයක් පවතී. ත්‍රිකුණාමලයේ ස්වාභාවික වරාය යුද කටයුතු සඳහා යොදාගත හැකි වරායක් ලෙස ප්‍රකට ය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, කොළඹ වරායේ සම්බන්ධතා ජාලය, ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වී ඇති සාධක ලෙස සැලැකිය හැකි ය. සිංහරාජ වනාන්තරය එහි ජෛව විවිධත්වය, අපේ රටේ දේශගුණික රටාව, මධ්‍යම කඳුකරය, ජල සම්පත රටට බලවත් වටිනාකමක් එකතු කර තිබේ. මෙබඳු රාජ්‍යයක පාලකයන් විදේශ සබඳතා කළමනාකරණය කරගත යුත්තේ ඉතා බුද්ධිමත් ලෙස බව ජනාධිපතිවරයා වටහාගෙන තිබේ.

බටහිර රටවල් සමඟ ශ්‍රී ලංකාවේ නායකයා ගොඩනඟා ගනු ලබන හොඳහිත දේශපාලන කුමන්ත්‍රණ ඔස්සේ විනාශ කිරීමට යන බවක් ද පෙනෙන්නට තිබේ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට අදාළ සිද්ධිය ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි ය. මේ සිද්ධිය අභියෝගයක් වන අතර රජය ඊට මුහුණ දෙන ආකාරය බුද්ධිමත් බව ද පෙනී යයි. සිද්ධියට මුහුණදුන්නා යැයි කියන කාන්තාව නීතිය ඉදිරියට පමුණුවා ඇති අතර ස්වාධීන පරීක්ෂණ ආරම්භ වී ඇත. මේ පරීක්ෂණ කඩිනම්කොට ඇත්ත තත්ත්වය, රටටත් ‍ලෝකයටත් පැහැදිලි කළ යුතුය. එහි ඇත්ත හෙළිදරව් වන විට ස්විස්ටර්ලන්තයේ හා ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

 

නව අදහස දක්වන්න