සිරිපා වන්දනාව අදින් ඇරැඹේ | දිනමිණ


 

සිරිපා වන්දනාව අදින් ඇරැඹේ

සමනල රෑන් බුදු පුද වෙත ළංවෙනවා 
සමන් දෙව් විමන හිමගිර බබළනවා 
ගිරිහිස මතින් සිවු ගංගා උපදිනවා 
දොහොත් මුදුන් දී සිරිපා නමදිනවා 
   - රත්නසිරි පතිරණ

මෙවර සිරිපා වන්දනාවාරය උඳුවප් ‍පුන් පොහෝ දිනය යෙදෙන අදින් (11) ආරම්භ වෙයි.

පසුගිය සිරිපා වන්දනා වාරය නිමවීමෙන් පසු පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහරින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීම ඊයේ (10) සිදු කෙරුණ.ි

උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහොෝදිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පොලිස් නිල සුනඛයින් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් සිරිපා කරුණා කරන ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

මීට අමතරව සිරිපා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සකස් කැර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහාද විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කැර ඇති අතර විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසත් පොලිතින් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමෙන් වළකින ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි. නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කිපයක ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස් කිරීමටද පහසුකම් සපයා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න