රට නව මඟකට හරවන ගෝඨාභය ආර්ථික පිළිවෙත | දිනමිණ


 

රට නව මඟකට හරවන ගෝඨාභය ආර්ථික පිළිවෙත

ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය හඳුනාගත හැක්කේ මහ බැංකුව හරහා රටේ ආර්ථිකය වෙනම පැත්තකට යොමු කරන රැල්ලක් ලෙසය. එය මෙරට පෙර නොවූ විරූ වෙන ම උපායකි. තායිවානය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් සාර්ථකත්වය කරා ගමන් කළේ මෙවැනි ක්‍රම අනුගමනය කිරීමෙනි. එම රටවල සාර්ථකත්වයේ රහස ජනතාව සහ ආණ්ඩුව කැපවීමෙන් සහ උත්සාහයෙන් රටේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීම ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය සමයේ පැවැතියේ අයහපත් තත්ත්වයක සිට ඉතාමත් අයහපත් තත්ත්වයකට පත්වෙමිනි. අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් මෙරට ආර්ථිකය තවත් බොහෝ කලකට ගොඩගැනීම උගහට ය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විශේෂඥයින් මෙම අසුබ ආරංචිය ඇසීමට සතුටු නැති වග සැබෑවක් වුව ද යථාර්ථය එය යි. වැටෙමින් පවතින ආර්ථිකය යළි ගොඩගත යුතු ව ඇත. මේ අපහසු කාර්යයේ වගකීම මූලික වශයෙන් පැවරෙන්නේ අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ය. නව ආර්ථික ප්‍රතිපත්ති තුළින් මහජනයාට සහන සැලසිය යුතු ය.

ගෝඨාභය-ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙන්කොට තිබුණේ පිටු දෙකකි. ඉතිරි පිටු 80 තුළ ද ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය සහ ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳ යම් යම් කරුණු අන්තර්ගත විය. කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩාවැටීමේ වරද පෙර සිටි නායකයන් මත පැටවීමට කාලය නාස්ති නොකිරීම නම් අනෙක් නායකයන් අතරින් එතුමා විශේෂයෙන් කැපී පෙනෙන ඉතාම වැදගත් ලක්ෂණයකි.

වාණිජ මණ්ඩලය මඟින් 2016 දී පැවැත් වූ ආර්ථික සමුළුවට සහභාගි වූ එවක මෙරට ආර්ථික කටයුතු ඇමැති රවී කරුණානායක මුල සිටම කළේ පවතින ආර්ථික ප්‍රශ්න පිළිබඳ වරද පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට පැටවීම ය. එතුමාගේ කතාවෙන් පසුව සමුළුව ඇමතුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මැලේසියාවේ ආර්ථික විශේෂඥයකු සේ ම මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයාට ආර්ථික උපදේශකත්වය ලබාදෙන Sri Idris Jala ය. එතුමාගේ කතාවේ එක් තැනක මෙසේ කීවේය.

ස්වයං අධ්‍යයනයක වැදගත්කම

“සියලුම වැරදි පටවන්නට පසුගිය ආණ්ඩුවක් තිබීම නිසා ඔබලා ඉතාමත් වාසනාවන්තයි. නමුත් අප එතරම් වාසනාවන්ත නෑ. අපේ රටේ නැවතත් වෙනත් කෙනකු යටතේ බලයට පත් වුණේ කලින් ආණ්ඩු කළ ප්‍රධාන පක්ෂයමයි. ඒ නිසා අපිට කලින් ආණ්ඩුවට බැණ බැණ ඉන්න බෑ. ඉතිං අපි ඒ වෙනුවට කොතනද අපට වැරදුණේ කියලා හොයාගන්න අපි තුළ ම ස්වයං අධ්‍යයනයක් කළා. ඒ තුළින් තමයි අප යහපත් ප්‍රතිඵල ලැබුවෙ.”

එතුමා සඳහන් කළ එම ස්වයං අධ්‍යයනය ශ්‍රී ලංකාවට ද ඉතා වැදගත් ය. එම ස්වයං අධ්‍යයනය තුළින් ඔවුන් සිදු කළේ ආර්ථිකය පිළිබඳ ඉහළ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නායකයන් එක්කොට ඔවුන්ගේ ලෙඩ වෙමින් පවතින ආර්ථිකයට බෙහෙත් දිය හැකි පිරිසක් බිහි කිරීම ය. රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනයට එම පිරිසට නිදහස ලබාදුන් අතර, ප්‍රතිපත්ති සම්පාදනයේ කෙළවර ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කළ එම කණ්ඩායම ඉන් ඉවත් වී එම ප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට එරට රජයට ඉඩ ලබාදුන්නේ ය. එතුළින් මැලේසියාව අද වන විට හතරවැනි කාර්මික විප්ලවය කරා ගමන් කරන රටක් බවට පත්ව තිබේ.

ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය මතුවන්නේ වසර 02ක් මුළුල්ලේ විද්වතුන් සහ උපදේශකයන් එක්ව නිර්මාණය කළ සන්නාමයක ප්‍රතිඵලයක් ලෙසිනි. එබැවින් ඔවුන් ද මැලේසියාව සේ ම මෙරට ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කරන ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යයනයක් කොට ඇති බව පැහැදිලි ය. එය ඉතා යහපත් තත්ත්වයක් වන්නේ යම් හෙයකින් ජනපති ධූරයට පත්වීමෙන් පසුව ඒ සියලු කර්තව්‍යයන් සිදු කිරීමට කල් බලමින් සිටියේ නම් තව තවත් කාලය නාස්ති වන බැවිනි. කෙසේ වෙතත් එය තවත් එක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් නොකොට ක්‍රියාවට නැංවිය යුතු ය. එසේ ම සෑම ප්‍රතිපත්තියක් ම අනිවාර්යයෙන් ම විස්තරාත්මක ක්‍රියාකාරිත්වයකට ලක්කළ යුත්තේ එක තැන පල්වීමට ප්‍රතිපත්ති සම්පාදනය, නිෂ්ඵල කර්තව්‍යයක් වන බැවිනි. මේ සඳහා මගේ යෝජනාව වන්නේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මත්තෙන් මහබැංකුවේ සහ අදාළ නිලධාරින්ගේ ප්‍රතිපත්ති සමඟ ගලපාගනිමින් එකඟතාවකට පැමිණීම සුදුසු බව ය. ඉන් අනතුරු ව අදාළ නිලධාරීන් සමඟ පෞද්ගලික අංශය ද මේ සඳහා අනිවාර්යෙන් ම දායක කරගත යුතු ය. ගෝඨා-ආර්ථික ප්‍රතිපත්තිය රටේ ප්‍රතිපත්ති දර්ශනයක් බවට පත්වන්නේ එවිට ය.

පවත්නා සමාජයට ගැලපෙන ඉතාමත් ම නවීන පන්නයේ ආර්ථික සැලසුම් මෙන් ම 2025 වන විට ලබාගත යුතු ආර්ථික ජයග්‍රහණ ද එතුළ අන්තර්ගත ය.

ආර්ථිකයට හානිකර අන්දමින් සෘජුවම බලපාන ක්‍රියාකාරකම් අවම කරගැනීම ද මෙහි අන්තර්ගත ක්‍රියාමාර්ගයකි. විරැකියාව, 4%ට වඩා අඩු කිරීමට අපේක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී. එසේ ම උද්ධමනය 5%කට වඩා අඩු අගයක් බවටත් අයවැය වෙනස දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වඩා අඩු අගයකටත් පත් කිරීම මෙහි අරමුණු අතර වේ.

ආර්ථික කවුන්සිලය

පවත්නා ආර්ථිකය නිවැරදි දිශාවකට හැරවීම වෙනුවෙන් ජනපති යටතේ ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් කොමිසමක් පත් කිරීමට නියමිතය. කලින් ආණ්ඩුවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා යටතේ පැවති ආර්ථික කළමනාකරණය සඳහා පත් වන කැබිනට් කමිටුව සහ ජාතික ආර්ථික කවුන්සිලය සහයෝගයෙන් කටයුතු නොකළ බවක් දැකිය හැකි විය. එම ආයතන දෙක අතර වූ කඹ ඇදිල්ල පසුගිය වකවානුව තුළ මෙරට ආර්ථිකයට එල්ල වූ දරුණු ප්‍රහාරයකි. එබැවින් එම කොමිෂන් සභා දෙක ම අහෝසි කරමින් සියලු ම ආකාරයේ ආර්ථික කටයුතු වත්මන් ජනාධිපති යටතේ පත් කිරීමට නියමිත ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් කොමිසමේ තනි බලය යටතට ගැනීමට නියමිත ය.

ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය දේපළ තවදුරටත් පෞද්ගලීකරණය නොකර සිටීමට සැලසුම් කෙරෙන අතර පෞද්ගලීකරණය තහනම් කොට නීතියක් ගෙන ඒමේ උත්සාහයක් ද පවතී. එසේ ම පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සහයෝගයෙන් කටයුතු කරනු දැකීම නව රජයේ අපේක්ෂාව යි. මින් පෙර පෞද්ගලීකරණය කිරීමේදී සිදු වූ ඉතා විශාල දූෂණ වංචා සහ සැලසුම් වෙනස් කිරීමේ වූ දුර්වලතා හේතුවෙන් පෞද්ගලීකරණය කළ ආයතන බොහොමයක් කඩාවැටුණු බව අමුතුවෙන් කිව යුතු නැත. අප දිනෙන් දින වෙනස් වන ලෝකයට ගැලපෙන අන්දමේ නව ව්‍යාපාර ක්‍රම සොයා යා යුතු ය. එසේ ම පෙර වැරදි තුළින් ඉගෙනගත් පාඩම් අනාගතය යහපත් කරගැනීම සඳහා යොදාගත යුතු ය.

1970 වසරේ ජාතික තේ පර්යේෂණ ආයතනය ලෝකයේ එවකට විශාල පරිවර්තනයකට ලක් වූ කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කිරීමට සමත් නොවී ය. එනම් ලෝකයේ සාම්ප්‍රදායික තේවලට වඩා ක්ෂණික තේ සඳහා ඉල්ලුම වැඩි වීමත් තරුණ පිරිස තේ පානය වෙනුවට වෙනත් පානවර්ගවලට යොමුවීමත් ය. මේ හේතුවෙන් මෙරට තේ වෙළෙඳපොළට එල්ල වූයේ දැවැන්ත පහරකි. ගෝඨා-ආර්ථික ප්‍රතිපත්තිය තුළ මෙවැනි කාරණාවලට මුහුණ දීම වෙනුවෙන් විශේෂ ක්‍රමවේද පවතී.

එහිදී රාජ්‍ය අංශයේ කළමනාකාරීත්වය දක්ෂ, තරුණ, කැපවීමෙන් කටයුතු කරන කළමනාකරුවන් අතට පත් කෙරේ. හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් පවා විගණන කටයුතුවලින් මේ සඳහා සහය දක්වනු ඇත. නමුත් අදාළ කණ්ඩායම යම් හෙයකින් අසමත් වුවහොත් ඔවුන් ඉවත් විය යුතු ය. ඉන්පසු එම කර්තව්‍යය පැවරෙන්නේ තවත් අලුත් කණ්ඩායමකට ය. මෙය සිංගප්පූරුව ඔවුන්ගේ ආර්ථික වර්ධනය වෙනුවෙන් උපයෝගී කොටගත් ක්‍රමවේදයකි. 

කළමනාකරුවන්ගේ හිඟය

දක්ෂ, කාර්යශූර ආර්ථික කළමනාකරුවන්ගේ හිඟය මෙහි දී බලපාන විශාල ගැටලුවකි. සිංගප්පූරුව එම ගැටලුව නිරාකරණය කොට ගත්තේ විදේශීය කළමනාකරුවන් ගෙන්වා ගැනීමෙනි. නමුත් ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඒ සඳහා ලබාදීමට සූදානම් විසඳුම පිළිබඳ ව තවම හෙළිකොට නැත. කෙසේ වෙතත් ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය තුළ වන නූතන ක්‍රම මෙරට තුළ අනුගමනය කිරීමට අපට දක්ෂ කණ්ඩායමක් අවැසි වේ. ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් ඇති අතර එය කෝප් කමිටුවයි. අවසන් තීරණය ගැනීමේ අවස්ථාව එම කමිටුවට ලබා දිය හැකිවේ. කෙසේ වෙතත් පවතින කෝප් වාර්තා බලන විට පැහැදිලි වන්නේ මූල්‍යමය විගණන පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කර ඇති නමුත් ව්‍යවසායක විගණනය ඉතා ම බරපතළ ලෙස අවතක්සේරු කොට ඇති බවකි. නමුත් නව රජයේ අපේක්ෂාව මේ දෙඅංශය ම සමබර ව පවත්වාගෙන යෑම ය.

ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ සරල බදු ක්‍රමයකි. අඩු බදු ප්‍රමාණයක් සහ පුළුල් බදු ජාලයක් ඔස්සේ ශ්‍රී ලංකා බදු ක්‍රමය ඉහළ නැංවීම ය. කෙසේ වෙතත් වත්මන් ජනපතිවරයා ගෙන ඇත්තේ විශාල අවදානමකි. මන්ද ජනතාවට ලබාදෙන බදු සහන ඇතුළු මේ සියලු ක්‍රියාදාමයන් අවසානයේ මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණය වැඩි කිරීම ද එතුමාගේ වගකීම වන බැවිනි. බරපතළ ම අභියෝගය වන්නේ මේ උත්සාහයන් කෙටි කලකට සීමා කරමින් ඉක්මන් කෙළවරක් දැකීම වන අතර යම් හෙයකින් බදු ජාලය බලාපොරොත්තු වන ප්‍රමාණයට විසිරීම සිදු නොවුණ හොත් බදු අඩු කිරීම මහා භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදල් අඩුවීමට දිගින් දිගට ම බලපානු ඇත. එය එසේ වුවහොත් අලුත් ක්‍රමය නොපිටට යනු ඇත. ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ආදායම් බද්ද අඩු වේ. නමුත් මේ මඟින් පහළ බදු ඉහළ නැංවීමට බලාපොරොත්තු වන අතර ලාභ එයාකාරයෙන් ම පවත්වාගෙන යෑමට උත්සාහ ගැනේ. එසේ ම නව ආයතනවලට පෙළඹෙමින් භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණය වැඩි කරගැනීමට ද උත්සාහ කරයි. මෙමගින් මෙරට වැඩිපුර ලාභ ලබන ආයතනවල බදු ප්‍රමාණ ඉහළ යන අතර ආයතන ප්‍රමාණය අඩු වන නමුත් ලබන බදු මුදල් ප්‍රමාණය මේ මඟින් වැඩි වනු ඇත. නමුත් බොහෝ දේ තීරණය වනුයේ වෙළෙඳපොළ ඉල්ලුම අනුව ය. කෙසේ වෙතත් සියල්ල නිවැරදි පරිදි සිදු නොවුණ හොත් රටේ ආර්ථිකය වෙනුවෙන් ගන්නා අවදානම අයහපත් ප්‍රතිඵල ගෙනදීමට ද ඉඩ ඇත. මෙය දැලි පිහියෙන් කිරි කෑමක් වන්නේ එබැවිනි.

බදු ඉවත් කිරීම

වාර්ෂික ආදායම ලක්ෂ 07ට වඩා අඩු පිරිසගේ වැටුපේ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කොට ඇත. නමුත් සියලු ම වෘත්තිකයන් සහ වැටුප් ලබන්නන් ඔවුන්ගේ වාර්ෂික ආදායම සවිස්තරාත්මක ව ඉදිරිපත් කළ යුතු ය. වැටුපට අමතර ව ඔවුන්ට ආදායම් ලැබෙන වෙනත් මාර්ග ඇතොත් ඒ පිළිබඳ නිවැරදි තොරුතුරු රජයට ලබාදිය යුතු ය. ඒ කටයුත්ත නිවැරදි ව සිදු නොවුණහොත් එය මහා භාණ්ඩාගාරයට එල්ලවන අවදානම් තත්ත්වයකි. කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද , ආර්ථික සේවා බද්ද වැනි ජනතාව මත බලෙන් පටවන ලද බදු ඉවත් කිරීම යහපත් තත්ත්වයකි. වැට් බද්ද ද 15% සිට 8% දක්වා අඩු කොට ඇත. ප්‍රතිලාභ ලබන ව්‍යාපාරවලින් බදු අයකරගැනීමේ උත්සාහයක නිරත වන අතර තවත් අතෙකින් සංචාරක කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කොට සහන සලසා ඇත. එය සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම තුළින් භාණ්ඩාගාරය තරකර ගැනීමට ගන්නා උත්සාහයකි. නව තාක්ෂණය හඳුන්වාදීමත් ජනතාව වැඩි වශයෙන් නව තාක්ෂණය සඳහා යොමු කිරීමත් වත්මන් ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආර්ථික රැල්ලක්, ආර්ථික කැරැල්ලක් දක්වා ගමන් කරවන තත්ත්වයකට පත්කිරීමට ගන්නා උත්සාහයකි.

දැනට පවතින තත්ත්වය අනුව රජයේ විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කරමින් බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කරගැනීමට අවකාශ නැත. එබැවින් තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය වැනි විෂයන් සඳහා පිළිගත් පෞද්ගලික අංශයේ ඉන්දියානු විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපනය කරමින් වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් ද ඇති කිරීම ද අපේක්ෂා කෙරේ. එහි පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ උසස් තාක්ෂණයෙන් යුතු පෞද්ගලික විශ්වවිද්‍යාල නොමැති වීමෙන් අනාගතයේදී මතුවිය හැකි දැනුමෙන් පිරිපුන් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්ගේ හිඟයට පිළියම් යෙදීම ය.

මේ සියලු කරුණු පිළිබඳ සලකා බැලීමේදී ගෝඨාභය ආර්ථික ප්‍රතිපත්තිය හඳුනාගත හැක්කේ මහබැංකුව හරහා රටේ ආර්ථිකය වෙන ම පැත්තකට යොමු කරන රැල්ලක් ලෙස ය. එය මෙරට පෙර නොවූ විරූ වෙන ම උපායකි. තායිවානය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් සාර්ථකත්වය කරා ගමන් කළේ මෙවැනි ක්‍රම අනුගමනය කිරීමෙනි. එම රටවල සාර්ථකත්වයේ රහස ජනතාව සහ ආණ්ඩුව කැපවීමෙන් සහ උත්සාහයෙන් රටේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීම ය. නමුත් මේ ක්‍රමය ශ්‍රී ලංකාවට කෙතරම් දුරට ගැලපේ ද? මෙතුළින් මෙරට කඩාවැටෙමින් පවතින ආර්ථිකය කණපිට හැරවීමට හැකි වේද? ජනතාව අපේක්ෂා දල්වාගත් දෑසින් බලා සිටිති.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න