උඳුවප් පොහොය | දිනමිණ


 

උඳුවප් පොහොය

හ/සිරි පුඤ්ඤරතන පිරිවෙණෙහි ආචාර්ය තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරවාසී ගෞරව තෙළුල්ලේ ඛේමින්ද හිමි

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බෞද්ධ ජනතාවට අර්ථවත් වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවීම. භික්ෂුණී ශාසනය පිහිටුවීම හා ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වීම යන ශාසන ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී කරුණු කිහිපයක් මුල් කොට ගෙනයි.

ධර්මාශෝක අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහොය දින ලක්දිව තුළ සම්බුද්ධ ශාසනය පිහිටු වූහ. එම අවස්ථාවේදී දහම් ඇසීමට (ධර්ම ශ්‍රවණයට) පැමිණි අනුලා දේවිය ප්‍රමුඛ 500ක් කාන්තාවෝ ප්‍රවෘජ්‍යාව ආයාචනා කළහ. එහිදී එම ඉල්ලීම පිළිබඳ මිහිඳු මහරහතන් වහන්සේ දෙවැනි පෑතිස් රජුට සැලකොට මේ සඳහා තම සොහොයුරිය දඹදිව සිට වැඩමවා ගැනීම උචිත බවත්, ඒ සමඟම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජය ශ්‍රීමහා බෝධි ශාඛාවක් ද, වැඩමකරවා ගැනීම සුදුසු බවට රජුට උපදෙස් දුන්හ. ඒ අනුව දෙවැනිපෑතිස් රජු සඟමිත් තෙරණිය සමඟ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද, වඩමවා ගැනීමට අවශ්‍ය බව දන්වා අරිට්ඨ කුමරුට සන්දේශයක් ද, ලබා දී දූත පිරිස දඹදිව රම්‍ය වූ පැළලුප් නුවරට පිටත් කළහ.

සැදැහැති ධර්මාශෝක අධිරාජ්‍යයා එම සන්දේශය පිළිගෙන, “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිස වේවා”යි ප්‍රාර්ථනය කරමින් සංඝමිත්තා තෙරණින්වහන්සේ ද, ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද, බෝධීන් වහන්සේගේ ආරක්ෂක පිරිස ද, අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස සමඟ උඳුවප් මස ශුක්ල පක්‍ෂයේ පෑලවිය දින තාම්‍රලිප්තියෙන් ලක්දිවට පිටත් කළහ. ශ්‍රී මහා බෝධිය සහ පිරිස රැගත් නැව එදවසට දඹකොළ පටුනට පැමිණි පසු දෙවැනි පෑතිස් රජු ගෙලවට තෙක් ජලයට බැස බෝධිය පිළිගෙන පෙරහරින් වඩමවාගෙන අවුදින් අනුරපුර මහමෙව්නා උයනෙහි රෝපණය කළහ. එය අදටත් සියලු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිතා, ඓග්ගු, පබ්බතා, මන්තා, ධම්මදිසා, මහාදේවි, පදුමා, තේමාසා, උත්තලා, අඤ්ජලී සහ සුමා යන භික්ෂුණීන් වහන්සේලා ද, පෙරටු කොටගෙන, අනුලා දේවිය ඇතුළු ලක්දිව කාන්තාවන් පැවිදි කරවා භික්ෂුණී ශාසනය ද පිහිටවනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකය. මේනිසා කාන්තාවට මෙතෙක් අහිමිව පැවති විමුක්තිය පසක් කර ගැනීමේ අයිතිය ද ලැබුණි.

එමෙන්ම අප ගෞතම මුනින්ද්‍රයන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීම ඇරඹෙන්නේ ද, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ සිටයි.

මෙවැනි සංසිද්ධීන් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී සකල ලෝකවාසී බොදු ජනයාට තම උභයාර්ථයන් සපුරා ගත හැක්කේ, ‘අප්පමාදෝ අමත පදං’ (නොපමා බව නිවනට මඟය), ‘පමාදො මච්චුනො පදං’ (පමා බව මරණයට මඟය), ‘අප්පමත්තාන මීයත්ති (අප්‍රමාදී වූවෝ මරණයෙන් මිදෙති) ‘යේපමත්තා යථා මතා’ (පමාවූවෝ මළවුන් වැනිය) යන බුදු වදන පසක් කර ගැනීමෙනි.

තෙරුවන් සරණයි.

නව අදහස දක්වන්න