ආර්ථික සිහින! | දිනමිණ


 

ආර්ථික සිහින!

බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී ඇත්තේ ආර්ථික ශ්‍රී විභූතිය ඉතා කෙටි කාලයක් තුළ ළඟා කරගැනීම ය. බලාපොරොත්තු දල්වාගැනීම හා රාජ්‍ය - පාලනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ක්‍රියා කිරීම සුබදායී ලක්ෂණයෙකි. එහෙත් කිසිදු රාජ්‍යයක් පෙළහරපාමින් ක්ෂණිකව ආර්ථික ජයග්‍රහණ ලබාගෙන නැත. අප නිතර ආදර්ශයට ගනු ලබන සිංගප්පූරුව හා මැලේසියාවේ තත්ත්වය ද එය ම ය. ආර්ථිකය පවත්වාගැනීම හා එහි ප්‍රබෝධයන් මතුකිරීම සඳහා එම රටවල් අදත් දැඩි අවධානයකින් ක්‍රියා කරයි. මෙහිලා වැදගත් වන ප්‍රධාන කරුණු දෙකක් ඇති බව පෙනීයයි. පළමු කරුණ වන්නේ ලෝක ආර්ථික ප්‍රවණතා හඳුනාගෙන ක්‍රියාකිරීම ය. දෙවන කරුණ වන්නේ දේශීය ආර්ථික තත්ත්වයන්ගෙන් සැබෑ ස්වරූපය නිරන්තරයෙන් සමාලෝචනය කිරීම ය.

ඉහත කරුණු දෙක සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා විද්වත් ආයතන හා විද්වත් කමිටු පවත්වාගෙන යෑම ඉතා වැදගත් ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි එබඳු ආයතන හා කමිටු ගැන සඳහන් කර තිබේ. කාලය වේගයෙන් ඉගිලී යන බැවින් එම ආයතන හා කමිටු පිහිටුවා ඒවා සක්‍රීය කළ යුතුව තිබේ. රටේ ආර්ථිකය හසුරවන ප්‍රධාන ආයතනයක් වන මහ බැංකුවේ සහභාගිත්වය ද මේ සඳහා ලබාගත යුතු ය. ආර්ථික සංවර්ධන වේගය වැඩි කිරීම, උද්ධමනය පාලනය කිරීම, විරැකියාව අඩු කිරීම හා ජනතාවගේ ආදායම් වැඩි කිරීමත් කළ හැක්කේ එබඳු විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ ය. ක්ෂණිකව ඇති කළ හැකි ආර්ථික ප්‍රබෝධනය සීමාසහිත වෙයි.

ව්‍යාපාරික ප්‍රජාවට හා ව්‍යාපාරික ප්‍රජාවේ සංගම්වලට ආර්ථිකයේ ක්ෂණික වෙනස්කම් කිහිපයක් ඇති කළ හැකි ය. මෝල් හිමියන්ගේ සංගමය සහල් මිල අඩු කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ අගමැතිවරයා සමග මෝල් හිමියන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ය. මේ අනුව නාඩු හා සම්බා යන ප්‍රධාන සහල් වර්ග දෙකක මිල පහත දමනු ඇත. උත්සව සමයේ එබඳු තීරණයක් ගැනීම ජනතාවට සහනයකි. බේකරි හිමියන්ගේ සංගමය සිය නිෂ්පාදනවල මිල වැඩි කිරීමට තීන්දු කර තිබුණ ද ආණ්ඩු වෙනසින් පසු පැවති මිල ගණන්වලටම සිය භාණ්ඩ අලෙවි කිරීමට තීරණය කර තිබේ. එය ජනතාවට ලැබුණු තවත් සහනයෙකි. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකි නම් එය වැදගත් ය.

රටේ සමස්ත ආර්ථිකය හැසිරවීමේ තනි බලයක් රජයකට නැත. විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ එය කිසිසේත්ම කළ නොහැකි ය. පෞද්ගලික අංශය, ව්‍යාපාරිකයන් සේම අතරමැදියන් ද ආර්ථිකය හසුරවන යාන්ත්‍රණයේ කොටස්කරුවන් බව සිහි තබා ගැනීම වැදගත් ය. මේ එකිනෙක අංශ සුබදායී ලෙස ක්‍රියාකරන්නේ රජය හා එහි ප්‍රධානීන් කෙරෙහි විශ්වාසයකින් පසුවන්නේ නම්; පමණි. දැනට පවතින තත්ත්වයට අනුව සෑම අංශයක ම සහයෝගය රජයට හා නායකයන්ට ලැබෙන බව පෙනෙයි. එය අඛණ්ඩව පවත්වාගැනීම කළ යුතු ය. පෞද්ගලික අංශය හා ව්‍යාපාරිකයන් සාමූහික ප්‍රයත්නයක යෙදී සිටින්නේ නම්; ආර්ථික අභියෝග ජයගැනීම පහසු වෙයි.

නව රජයේ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ව්‍යාපාරික ප්‍රජාවගේ සේම නව ආයෝජකයන්ගේ ද ප්‍රසාදයට හේතුවක් වී ඇත. ඇතැම් බදු අහෝසි කැරිණි. ඇතැම් බදු අඩු කැරිණි. දේශීය ව්‍යාපාරිකයාට ඒ මගින් සහන ලැබී ඇත. ආනයන සීමා කිරීමට රජය ගත් තීරණය ද බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙයි. දේශීය ව්‍යාපාරිකයාට මෙන්ම ගොවියාට ද සුළු කර්මාන්තකරුවාට ද ඒ මගින් සහන ලැබී ඇත. ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් අතර ප්‍රබෝධයක් ඇති කිරීම ආර්ථික ක්‍රියාවලිය වේගවත් වීමට හේතුවක් වෙයි. පසුගිය ආණ්ඩුවේ ප්‍රති - අපනයන වැඩසටහන නිසා ගොවියා මෙන්ම සුළු ව්‍යාපාරිකයාද බලවත් පීඩාවකට පත් වූ බව රහසක් නො වේ. දැන් එම පීඩනය පහ වී ගොසිනි.

අපේ දේශපාලනයේ සාමාන්‍ය සිරිත වන්නේ පරාජිත ආණ්ඩුව හා පරාජිත නායකයන් දිගට - හරහට විවේචනය කිරීම ය. කොටින් ම සියලු වැරැදි පරාජිත පාර්ශ්වය කෙරෙහි යොමු කිරීම බලයට පත් නායකයන්ගේ පුරුද්ද විය. යහපාලන ආණ්ඩුව ද අඩුවකින් තොරව එය ඉටු කළේ ය. විදේශ ණය පිළිබඳ කතන්දරය ඊට හොඳම නිදසුන ලෙස දැක්විය හැකි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර ගැන විවේචන ඉදිරිපත් කළ යහපාලන ආණ්ඩුව ඊටත් වඩා ණය ප්‍රමාණයක් ලබා ගත්තේ ය. වත්මන් ජනාධිපතිවරයා විවේචන මාර්ගය අනුමත කරන බවක් පෙනෙන්නට නැත. ඔහුගේ කතාව අඩු ය. එහෙත් ගත යුතු තීරණ නො පමාව ගනී. ගෙවී ගිය කෙටි කාලය තුළ එය සනාථ වී තිබේ.

රටක ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම හා එය ඉදිරිගාමී කිරීම සඳහා අංශ තුනක වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව කියති. එක; කෙටිකාලීන වැඩසටහන් ය. දෙක; මධ්‍යකාලීන වැඩසටහන් ය. තුන; දිගුකාලීන වැඩසටහන් ය. කෙටිකාලීන වැඩසටහන්වල ප්‍රතිලාභ ක්ෂණිකව ජනතාවට භුක්ති විඳීමට ඉඩ ලැබේ. ජනතාව එබඳු වැඩසටහන්වලට වැඩි කැමැත්තක් දක්වති. ආනයන සීමා කිරීම හා ඇතැම් ආනයන සඳහා තහනමක් පැනවීම නව රජය ක්‍රියාත්මක කළ කෙටිකාලීන වැඩසටහනකි. බදු ප්‍රතිසංස්කරණය ද එබඳු කෙටි කාලීන වැඩසටහනකි. ඒවායෙහි ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙයි. මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ද ඒ අයුරින් ම ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට හා ප්‍රතිපත්තිවලට අනුව 2025 වන තෙක් ක්‍රියාත්මක වන ආර්ථික සැලැස්මක් හඳුන්වා දී තිබේ. එය විද්වත් කමිටු ඔස්සේ නිර්මාණය වූ ආර්ථික සැලැස්මකි. ඒ ගැන විශ්වාසය තබා මහජනයා ඡන්දය පාවිච්චිකර තිබේ. දැන් සිදුවිය යුත්තේ දේශපාලන භේදයකින් තොරව මේ වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම ය. එසේ නොවුණහොත් අපේ ආර්ථික සිහින බොඳ වී යනු ඇත.

නව අදහස දක්වන්න