මැද පෙළ කඩා වැටීමෙන් ශ්‍රී ලංකාව පළමු දිනයේ කඩුලු 5කට 202යි | දිනමිණ


 

මැද පෙළ කඩා වැටීමෙන් ශ්‍රී ලංකාව පළමු දිනයේ කඩුලු 5කට 202යි

කුසල්-චන්දිමාල් යළිත් ඇඹරෙති

ආරක්ෂාවීමද? ප්‍රහාරයද? යන දෙලොවක් අතර සිට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් පාකිස්තාන වේග පන්දු හමුවේ පසුබැසීම හේතුවෙන් රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 202ක් වෙයි. අයහපත් ආලෝක තත්ත්වය හා තණතිල්ල අසලට පාත්වූ මීදුම සැලකිල්ලට ගෙන ඊයේ පළමු දිනයේ තවත් ඕවර් 21ක් ඉතිරිව තිබියදී ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවීමට තරග විනිසුරුවෝ තීරණය කළහ. එවිට ධනංජය ද සිල්වා පන්දු 77කට මුහුණදී හතරේ 4ක් සමග නොදැවී ලකුණු 38ක්ද, නිරෝෂන් දික්වැල්ල පන්දු 13කදී හතරේ 2ක් සමග නොදැවී ලකුණු 11ක්ද ලබා සිටියහ.

ආරම්භක පිතිකරුවන් ලබාදුන් තරමක සාර්ථක ස්ථාවරය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අපොහොසත්වීමෙන් ඊයේ දිවා විවේකයෙන් පසු කඩුලු 5ක්ම උදුරා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ තර්ජනයක් මුල සිටම එල්ල නොවූ හෙයින් දුර්වල පන්දුවලට ප්‍රහාර එල්ල නොකර අනවශ්‍ය පරිදි ආරක්ෂාවීමට උත්සාහ කිරීම පීඩනය වැඩිවීමට හේතුවක් විය.

කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර උදෑසන මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි ආලෝක ධාරා මැද තරගය ආරම්භ කෙරුණි. නායක දිමුත් හා ඔෂධ ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස කදිම ආරම්භයක් ලබාදුන් අතර ලකුණු 96ක සම්බන්ධතාවක් පළමු කඩුල්ලට ගොඩ නැංවිය.

නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 24වැනි අර්ධ ශතකය පන්දු 90කදී හතරේ පහර 8ක් සමග වාර්තා කළ අතර මිනිත්තු 102ක් කඩුල්ලේ රැඳී සිටියේය. දිමුත් වෙත වේගයෙන් පැමිණි පන්දුවක් පා ආවරණයේ වැදුණු අතර එය දැවී යෑමක් ලෙස තීරණය වුවද දිමුත් රූපවාහිනියෙන් දැවී යෑම විමසා බලන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී ‘ලෙග්ස්ටම්ප්‘ එක මුවා කරමින් පහරදී ඇති බව පැහැදිලි වීමෙන් දැවීයෑම තහවුරු විය.

දිමුත් හා ඔෂධ යුගලය ශ්‍රී ලංකාවට ලකුණු 50ක් එක් කළේ පන්දු 100කදී මිනිත්තු 74ක කාලයකදීය. ඉතා ඉවසීමෙන් පන්දුවට පහරදුන් ඔෂධ ප්‍රනාන්දු මුහුණදුන් 20 වැනි පන්දුවේදී තම පළමු ලකුණ වාර්තා කළ අතර ඔහු දෙවැනි ලකුණ පසුකළේ මිනිත්තු 66කට පසු හතරේ පහරකිනි. දිමුත්ගේ දැවී යෑමෙන් තවත් ලකුණු 13ක් ලකුණු පුවරුවට එක්වෙද්දී ඔෂධ වේග පන්දු යවන නසීම් ෂා ගේ පන්දුවකට එල්ල කළ දුර්වල පහරක් පළමු ස්ලිප් හී සිටි හැරිස් ෂොහේල් අතට උඩපන්දුවක් ලෙස පැමිණීමෙන් දැවී ගියේය. ඔෂධ පන්දු 81කදී හතරේ පහර 6ක් හා හයේ පහරක් සමග ලකුණු 40ක් වාර්තා කළේය.

අංක එක පිතිකරුගේ භූමිකාව තේරුම් නොගත් කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා තිබියදී ඊයේ දිනයේ ටෙස්ට් වරම් දිනාගත් උස්මාන් ෂින්වාරීගේ පන්දුවකට යාන්තම් පිත්ත යොමු කිරීමෙන් කඩුලු රකින මොහොමඩ් රිස්වාන් අතට පහසු උඩ පන්දුවක්දී ක්‍රීඩාගාරයට ගියේය. එවිට ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 120ක් වූ අතර තවත් ලකුණු 7ක් එක්වෙද්දී නසීම් ෂාගේ වේග පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 2කට දැවී ගියේය.

ක්‍රීඩාකළ තරග කිහිපයකදීම දුරුවල පිතිකරණය හේතුවෙන් කැපීගොස් සිටි චන්දිමාල් පසුගිය පෙබරවාරි මාසයෙන් පසු මේ සංචාරයේදී ශ්‍රී ලංකා පිලට එක්වූ අතර යළි ගොඩ ඒමට මෙම තරගය ඔහුට හොඳ අවස්ථාවක්වී තිබිණි. එහෙත් ඔහුට තවමත් නියම රිද්මයට පැමිණීමට නොහැකිව ඇති බව පෙනීයන අතර වැරදි හදා ගැනීමට මේ තරගයේ දෙවැනි ඉනිම ප්‍රයෝජනයට නොගතහොත් ලොකු අමාරුවක වැටෙනු නියතය.

ශ්‍රී ලංකා ඉනිමේ 5වැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජය ද සිල්වා ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගීම තරමක සැනසිලිදායක සිදුවීමක් විය. මැතිව්ස් වේග පන්දු යැවූ නසීම් ෂාගේ පන්දුවකට ඉදිරි පාදයේ වේගවත් පහරකට යෑමේදී පිත්තේ කොනක වැදුණු පන්දුව දෙවැනි ස්ලිප් හී සිටි අසාඩ් සෆීක් අතට යෑමෙන් ලකුණු 31කට දැවී ගිය අතර පන්දු 31කට මුහුණදී තිබිණි.

සත්කාරක පිල වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟ පිටියට පිවිසි අතර ආරම්භක පිතිකරු අබීඩ් අලි හා වමතින් වේග පන්දු යවන උස්මාන් ෂින්වාරි ඊයේ ටෙස්ට් වරම් හිමිකර ගත්හ. නිමාවූ ඔස්ට්‍රේලියානු තරගාවලියේ සිටි ඉමාම් උල් හක් හා සහ දඟ පන්දු යවන යසීර් ෂා කණ්ඩායමෙන් ඉවත්කොට ඇත. මේ හේතුවෙන් පාකිස්තාන පිල නිත්‍ය දඟ පන්දු යවන්නෙකු නොමැතිව මෙම තරගයට පිවිස සිටිති.

ශ්‍රී ලංකා පිලේ ළහිරු තිරිමාන්න හා කුසල් ජනිත් ඉවත්කොට ඇති අතර විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත සහ ළහිරු කුමාර යන වේග පන්දු යවන්නන්ට මේ තරගයේ අවස්ථාව හිමි වුහ. දිල්රුවන් පෙරේරා නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස එක්ව සිටින අතර සෑම අංශයකින්ම දස්කම් දක්වන ධනංජය ද සිල්වා දඟ පන්දු යැවීමෙ අංශය ශක්තිමත් කරනු ඇත. වසර 10 කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් යළිත් ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉතිහාසගත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙය වූ අතර විශාල ආරක්ෂාවක් යොදා ඇති අතර ඊයේ පළමු දිනයේ 6000කට වැඩි නරඹන්නන් පිරිසක් තරගය නැරැඹීමට පැමිණ සිටියහ.

හෙට මෙම තරගයේ දෙවැනි දිනයයි.

 

නව අදහස දක්වන්න