අනාගතයේ ලෝකය | දිනමිණ


 

අනාගතයේ ලෝකය

l මිලියන 800 කට වැඩි ජනතාව දෛනික ව අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් නො ලැබ මන්දපෝෂණයෙන් පීඩාවිඳින අතර, මිලියන 600 ක් අධිපෝෂණය හේතුවෙන් ස්ථූලතාවයෙන් පෙළති. ජනයා සාගින්නෙන් පෙළෙන්නේ ආහාර හිඟයක් නිසා නොව මංකොල්ලකාරී ගෝලීය ආර්ථික ක්‍රමය සහ සම්පත් සාධාරණ ව බෙ දී නොයාම හේතුවෙනි. සෑම අමතර  මුඛයක් පිරවීමට ආහාර  සම්පාදනයට විශාල  වෙහෙසක් දැරීමට සිදුවේ.

විසි එක්වන සියවසේ ආන්තික කාලගුණික සිදුවීම් නිසා අනතුරට පත් රාජ්‍යයක් ලෙස දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය හැඳින්විය හැක. සෑම වසරක ම බංග්ලාදේශය වර්ග කිලෝ මීටර් 26.000 (වර්ග සැතපුම් 10.000) පමණ ගංවතුරෙන් යටවේ. ආසන්න වශයෙන් 5.000 ක පමණ ජනයා ජීවිතක්ෂයට පත්වන අතර, නිවාස මිලියන හතක් විනාශ වේ. 1998 වසර සිට රටේ සමස්ත භූමියෙන් 75% ක් ගංවතුරෙන් ආපදාවට පත්වේ. මිලියන 4 ක ජනයා ආහාර අහේනිය සහ බෝවන රෝගාබාධයන්ගෙන් පීඩා විඳින වග අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරයි. එමෙන් ම ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ පකිස්තානය මෝසම් වර්ෂාවෙන් ආපදාවට පත් දකුණු ආසියානු කලාපයේ අනෙක් රාජ්‍යයෝය.

වසර පනහකට පසු වැනිස් නගර භූමියෙන් 45% ක් ජලයෙන් යටවිය. වැනිස් නගරයේ ජනප්‍රිය සංචාරක කලාපය සෙන්ටි මීටර් 187 (අඟල් 73.4) සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගියේය. 1966 න් පසු සිදු වූ බිහිසුණු ආපදාව මෙය වන අතර ඇතැම් ස්ථාන සෙන්ටි මීටර් 194 ක් (අඟල් 76.4) ජලයෙන් යට වූ වග සිවිල් ජන ආරක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. වැනිස් නගරයේ සමස්ත ජනගහනය 53.000 කි. සෑම ශීත කාලයක ම වැනිස් නගරය මෙලෙස ජලයෙන් "acqua alta" යට වී යයි.

ආන්තික කාලගුණික ක්‍රියාකාරිත්වයන් සිදුවීම් මාලාවක් ලෙස අඛණ්ඩ ව ලෝක ගෝලය පුරා සිදුවෙමින් පවතී. 2010 වසරේ ග්‍රිෂ්ම සමයේ ඇති වූ දීර්ඝ නියඟය සහ උණුසුම් තරංග හේතුවෙන් ලැව්ගිනි ඇති වී රුසියාවේ ධාන්‍ය වගාව විනාශ වීමෙන් ආහාර හිඟයක් නිර්මාණය විය. වායු දූෂණය නිසා මරණ 56.000 ක් සිදු විය. එයට සමාන්තර ආන්තික කාලගුණික තත්ත්වය නිසා පකිස්තානයේ මිලියන 20 ජනයා පීඩාවට පත්වූහ. 2012 වසරේ නිව්යොර්ක් සහ නිව් ජර්සි හරහා හඹා ගිය සැන්ඩි කුණාටුව වසර 300 කට පසු ඇති වූ දරුණු ආන්තික දේශගුණික සිදුවීමයි. එහෙත් බොහෝ දේශපාලන නායකයන් තවම මෙම අවදානම වෙත සිය අවධානය යොමු කර නැත.

 

අනතුර අත ළඟ

දේශගුණික වෙනස නිසා ඉතිහාසයේ කිසි දිනක අත් නො විඳි අවදානමකට මානව සමාජය ගොදුරු වී ඇතැයි රාජ්‍යයන් 153 කට අයත් විද්‍යාඥයෝ 11.000 ක් පසුගිය දා BioScience වාර ප්‍රකාශනය මගින් අනතුරු ඇඟවූහ. මානවයා සිය ජීවන පැවැත්ම ස්වභාවික පරිසරයේ පැවැත්ම අනුව වෙනස් කළ යුතුය. ඒ සඳහා තවත් කල් බැලීමක් අවශ්‍ය වන්නේ නැත. දැන් අනතුර දෙපා අසලට පැමිණ ඇත.

අධික පරිභෝජනය සමඟ බැඳුණු සුවපහසු ජීවන රටාව, ගෝලීය උණුසුම ඉහළ යාමට සහ වායු ගෝලයේ කාබනික දූෂක වර්ධනය ඊට හේතු වෙයි. වැඩිවන ජන ගහනය සීමා කිරීම, ෆොසිල ඉන්ධන භාවිතය, වන විනාශය සහ අධික මාංශ භක්ෂණය අවම කළ යුතු යැයි පර්යේෂකයෝ යොජනා කරති. පරිභෝජන මතවාදය සමඟ බැඳුණු කෑදර මානව ක්‍රියාකාරිත්වය භුමියේ සහ සාගරයේ උෂ්ණත්වය ඉහළයාමට හේතු වේ.

සාගර ජලය ඉපිලයාමෙන් ආන්තික කාලගුණික ක්‍රියාකාරකම් ඉස්මතු වේ. වසර 40 ක දේශගුණික සංවාදවල ප්‍රතිඵලයක් ලෙස විද්‍යාඥයන් ඉදිරිපත් කළ පුරෝකථනයන් ආමන්ත්‍රණය කිරීමට සමස්ත ලෝකය අපොහොසත් වී ඇත. දේශගුණික වෙනස නිසා මානව මෙන් ම සත්ත්ව ප්‍රජාවට සිය වාසස්ථාන අහිමි වේ. අලුත් ගෝලීය අවදානම් වාර්තාවට අනුව දේශගුණික වෙනස, ආහාර සුරක්ෂිතභාවය හීනවීම, මත්ස්‍ය සම්පත වඳවයාම සහ භූ දේශපාලන අස්ථාවරත්වය අනාගත ගෝලීය කම්පන ලෙස හැඳින්වේ. එහෙයින් 2008 වසරේ සිදු වූ අයුරින් 2020 වසරේ තවත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීම කිසිවකුට වළකාගත නො හැකි අනිවාර්ය සංසිද්ධියකි. මැද පෙරදිග යුද තත්ත්වය සහ දේශපාලනික ගැටුම් නිසා මිලියන 60 ක ජනයා දැනටමත් අවතැන්ව සිටිති.

 

ආහාර සහ ජලය

වර්තමානයේ මිලියන 800 කට වැඩි ජනතාව දෛනික ව අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් නො ලැබ මන්දපෝෂණයෙන් පීඩාවිඳින අතර, මිලියන 600 ක් අධිපෝෂණය හේතුවෙන් ස්ථූලතාවයෙන් පෙළති. ජනයා සාගින්නෙන් පෙළෙන්නේ ආහාර හිඟයක් නිසා නොව මංකොල්ලකාරී ගෝලීය ආර්ථික ක්‍රමය සහ සම්පත් සාධාරණ ව බෙ දී නොයාම හේතුවෙනි. සෑම අමතර මුඛයක් පිරවීමට ආහාර සම්පාදනයට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. පිරිසුදු පානීය ජල හිඟය, භූමි ඛාදනය සහ ක්ෂයවීම, පරාග සංයෝජනය කළ කෘමි ජනගහනය විනාශ වීම සහ දේශගුණික වෙනස ආහාර හිඟයට හේතු වේ. එක්සත් ජාතීන්ගේ වත්මන් තක්සේරුවට අනුව 2015 වසරේ දී 70% අමතර ආහාර නිෂ්පාදනයක් ලෝකයට අවශ්‍ය විය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2015 පුරෝකථනයට අනුව පාංශූ ඛාදනය නිසා ආහාර අස්වැන්නෙන් 60% අහිමිවූයේය. සොබාදහම සමඟ සහසම්බන්ධතාවෙන් යුතු විධිමත් ධරණීය ක්‍රියාමාර්ගයක් වේ නම් බිලියන 10 කට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කළ හැකි යැයි 2019 ආහාර සහ ධරණීය සංවර්ධන කොමිසමේ වාර්තාව පෙන්වා දෙයි. 2100 වසර් දී ගෝලිය ජනගහනය බිලියන 11 දක්වා වර්ධනය වේ යැයි අපේක්ෂා කරයි. එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්පත් කමිටුවට අනුව 2050 වසරේ දී ඒක පුද්ගල සම්පත් පරිභෝජනය වර්තමානයට වඩා 70% කින් වැඩිවේ. ජලය මානවයාගේ මූලික අවශ්‍යතාවකි. එහෙත් සෑම මානවයකුට ම අවශ්‍ය පිරිසුදු පානීය ජලය හිඟයක් වර්තමානයේ දක්නට ලැබේ. 2050 වසර වන විට බිලියන 5 ක ජනයා උග්‍ර ජල හිඟයකින් පීඩාවිඳිති. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස ජල හිඟයෙන් මිලියන සිය ගණනක ජනයාට 2030 වසර වන විට සිය වාසස්ථානවලින් ඉවත් ව ජලය සොයා වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණයවීමට සිදු වනු ඇත.

වර්තමාන ලෝක ජනගහනය බිලියන 7.3 කි. තවත් වසර 12 කින් එම සංඛ්‍යාවට බිලියනයක් ද වසර තිස් පහකින් බිලියන 2.3 ක් ද ඇතුළත් වේ. ජනගහන වර්ධනය සමඟ අනපේක්ෂිත ව ආහාර, ජලය, බලශක්තිය, රැකියා, නිවාස වැනි අවශ්‍යතාවන් සඳහා ඉල්ලුම ඉහළ යයි. සංවර්ධන වෙමින් පවතින රාජ්‍යයන් 49 ක ජනගහන වර්ධනය ඉතා සීග්‍රයෙන් සිදුවන වග එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 1804 වසරේ වාර්තාවලට අනුව ගෝලීය ජනගහනය බිලියන 1 කි. 1927 දී බිලියන 2 ක්, 1999 දී බිලියන 6 ක්, වර්තමානයේ බිලියන 7.3 දක්වා ක්‍රමයෙන් ජනගහනය වර්ධනය විය. 2050 දී බිලියන 10 ඉක්මවනු ඇත.

 

නාගරික කරණය

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2050 වන විට සමස්ත ජනගහනයෙන් 70% ක් නාගරික වාසභූමි වෙත සංක්‍රමණය වේ. අනාගතයේ නාගරික ප්‍රදේශ සමාජ - ආර්ථික සහ පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම අනිවාර්ය සංසිද්ධියකි. ඉඩම් බෙදීයාම, පෞද්ගලික වාහන අයිතිය, එමගින් මහමාර්ග තදබදය සහ විනාශ කරන බල ශක්තිය යුරෝපා සංගමයේ 2% ක් ද ජාතික නිෂ්පාදනයෙන් ආසියාවේ 2.5% ක් ද වනු ඇත. 2010 - 2050 අතර කාලයේ ආසියාවේ නාගරික ජනගහනය 60% කින් ඉහළයයි. එමෙන් ම මෙම නගර දේශගුණික වෙනස සහ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් දැඩි අනතුරට ලක්වේ. වර්තමානයේ මිලියන 500 ආසියානු ජනයා නාගරික මුඩුක්කු ආශ්‍රිත ව ජීවත් වෙති. 2025 වසර වනවිට චීනයේ මිලියනය ඉක්ම වූ ජනගහය සහිත නගර 220 ක්, මිලියන 10 ඉක්ම වූ මහා නගර 8 ක් ඉදිවනු ඇත. චීනයේ 1990 වසරේ 26% ක් වූ නාගරිකකරණය වර්තමානයේ 55% දක්වා ඉහළ ගොස් ඇත. 2020 වනවිට ජාතික නාගරිකකරණ සැලසුමට අනුව 60% දක්වා ඉහළ යන අතර ඒ සඳහා යුආන් ත්‍රිලියන 42 ක් (ඩොලර ත්‍රිලියන 6.8) ක් ආයෝජනය කර නිවාස ඒකක මිලියන 49 ක් ගොඩනගනු ඇත.

නාගරිකකරණය විසින් වර්ධනය කරන මානව අවශ්‍යතා උදෙසා අවශ්‍ය බලශක්ති නිපැයුම සඳහා 85% ක ෆොසිල ඉන්ධන දහනයක් සිදු වේ. එය නැවත භාවිත කළ නො හැකි බල ශක්තියකි. කෑදර පරිභෝජනය සඳහා වූ මානව අවශ්‍යතා වෙනුවෙන් වසර 400 ක අගයකින් යුතු ඉන්ධන එක් වසරක් තුළ විනාශ කර දැමේ. එයින් විශාල ප්‍රමාණයක් භාවිත කරන්නේ පාරජාතික TNCs සමාගම් ජාලය සහ රාජ්‍ය පද්ධතියයි.

 

ආර්ථික අලාභය

විද්‍යාත්මක නිරීක්ෂණයට අනුව 2001 සිට 2025 දක්වා කාලය තුළ පෘථිවි වායුගෝලයේ කාබනික වායු වර්ධනය 19% සිට 27% දක්වා අගයකින් ඉහළ යා හැකිය. ධ‍්‍රැව ප්‍රදේශවල අයිස් හා ග්ලැසියර දියවී යාම නිසා සාගර ජල මට්ටම ඉහළ ගොස් වෙරළබඩ කලාපයේ පාරිසරික පද්ධතිවල ජෛව විවිධත්වය විනාශ වේ. එමෙන් ම මානව ජනාවාසවල මෙතෙක් හඳුනා නොගත් වසංගත රෝග පැතිර යනු ඇත. ජල දුෂණය හා පානීය ජලය හිඟවීම, වගා බෝග විනාශය, වන විනාශය, මත්ස්‍ය සම්පත හිඟවීම ව්‍යසනයක් ලෙස වර්ධනය වේ.

සාගර ජලය මීටරයකින් ඉහළ ගිය හොත් කුඩා දුපත් රැසක් ලෝක සිතියමෙන් අතුරුදහන් වනු ඇත. වෙරළ ආසන්න ගොවීන් ගේ හා ධීවරයන්ගේ ජීවන තත්ත්වය ව්‍යසනයකට ලක් වීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. සාගර ජලය මීටර 7 සිට 12 දක්වා ඉහළ ගිය හොත් ලොව පුරා වෙරළාසන්නව පිහිටා ඇති මහා නගර බොහොමයක් මුහුදු ජලයෙන් යටවී යයි.

පස සෝදා යාම, කොරල් පර විරංජනය වීම හෝ සම්පූර්ණයෙන් විනාශ වීමෙන් සාගර ජෛව විවිධත්වය අහිමි වේ. අධික ව කාබනික වායු උරාගැනීම නිසා සාගර ජලයේ ඔක්ෂිජන් 50% කින් අඩු වී ඇත. එය සමූද්‍ර ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකරය. වත්මන් උණුසුම අනුව වෙරළබඩ තීරය විනාශය අනපේක්ෂිත නියඟ සහ ජල ගැලීම් ගෝලීය ආපදාවක් සේ වර්ධනය වේ. වත්මන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කි. එය

යම් හෙයකින් සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගිය හොත් සියලු ශාක හා සත්ත්ව ජීවීන්ගේ පැවැත්මට එය තර්ජනයකි.

දේශගුණික වෙනස හේතුවෙන් ගෝලීය ආර්ථිකයට පසුගිය කාලය තුළ ඩොලර් ත්‍රිලියන 54 ක පාඩුවක් සිදු වී ඇත. 2100 වසර වන විට කාබන් බදු මුදල ටොන් එකකට ඩොලර් 27, 000 ක් පැනවීමට සිදු වේ. ලොව පුරා විද්‍යාඥයන් 3000 කගේ සහභාගිත්වයෙන් පර්යේෂණ වාර්තා 6000 ක විශ්ලේෂණයෙන් පැරිස් ගිවිසුම සැකසිණ. ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 3.6 කින් ඉහළ යාම වළක්වා කාර්මිකකරණයට පෙර තත්ත්වයට නැවත ගෙන ඒම පැරිස් සම්මුතියේ අරමුණයි. ඒ සඳහා හරිතාගාර වායු දූෂණය 45% කින් අවම කර ගත යුතුය. ගල් අඟුරු භාවිතය 40% කින් අඩු කළ යුතුය. වර්තමානයේ සූර්යා හා සුළං බලය 7% සිට 67% දක්වා වර්ධනය කළ යුතුය. ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2.7 කින් ඉහළ යාමෙන් එක්සත් ජනපදය, බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දුනීසීයාව, ජපානය, පිලිපීන දූපත් සහ වියට්නාමයේ මිලියන 50 ක් වෙරළබඩ ජනයා ජල ගැලීම් නිසා විපතට පත් වෙති. ගෝලීය මුහුදු මට්ටම 2100 දී ඉහළ ගොස් සමූද්‍ර ආසන්නයේ ඇති බොහෝ නාගරික ජනවාස හා වෙරළ තීර මුහුදට යටව යනු ඇත. ගෝලීය ජනගහනයෙන් 14% ක් උණුසුම් තරංග නිසා පීඩා විඳිනු ඇත.

නව අදහස දක්වන්න