විදුලි බල අමාත්‍යංශයේ ගැටළු පිළිබද ජනපති අවධානය | දිනමිණ


 

විදුලි බල අමාත්‍යංශයේ ගැටළු පිළිබද ජනපති අවධානය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටී අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරිණි.

විදුලිබල ක්ෂ්‍රේත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.

ඒවා ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කිරීම ද මෙහි දී සිදු විය එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලිබල ක්ෂ්ත්‍රයට අදාළව සිදුකර ඇති යෝජනා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යෝජනා සදහා අමාත්‍යාංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාව පළ කෙරිණි.

විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රාරසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබදව ද ජනාධිපතිතුමා අවධානය යොමු කිරීම මෙහිදී සිදු විය

මෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්රපයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ඒවා නොව පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් එකගතාවන් බවයි.

එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිසි අධ්‍යයනයන් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්හ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න