උපදේශනයක්! | දිනමිණ


 

උපදේශනයක්!

ජනමාධ්‍ය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ ඇඟිලි ගැසීමක් හෝ නොකරන බව ද, එකී ආයතන ජාතික වගකීමකින් යුතුව කටයුතු කරනු ඇතැ’යි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබේ. ජනාධිපතිවරයා ජනමාධ්‍ය පිළිබඳ ස්වකීය මතය පළකරනු ලබන්නේ මාධ්‍ය ප්‍රධානීන් කැටුව පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් නායකයන් තමන්ගේ ධුර කාලය තුළ දී ජනමාධ්‍යයට විවිධ බලපෑම් කර ඇති බව ඉතිහාසය නිරීක්ෂණය කරන විට පැහැදිලි වෙයි. ඇතැම් නායකයන් රාජ්‍ය මාධ්‍යයට පමණක් නො ව; පෞද්ගලික මාධ්‍ය ආයතනවලට පවා විවිධ බලපෑම් සිදුකර ඇත. එබඳු තත්ත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදෙන සහතිකය ඉතා වැදගත් ය.

මාධ්‍යකරුවා නිරන්තරයෙන් ම අ‍ෙප්ක්ෂා කරන්නේ නිදහසේ වැඩ කිරීමට සුදුසු පසුබිමකි. හරි දේ හරි කීමටත් වැරදි දේ වැරැදි බව පෙන්වා දීමටත්, විවේචනය කළ යුතු දේ විවේචනය කිරීමටත් සුදුසු පරිසරය ඔහුට තිබිය යුතු ය. බියෙන් සැකයෙන් තොරව ජනමාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව දියුණු රටවල තිබේ. එම රටවල ඇති විශේෂත්වය වන්නේ රාජ්‍ය නායකයන් විවේචනය කිරීමේ හැකියාව පවා ජනමාධ්‍යයට තිබීම ය. අමෙරිකන් ජනාධිපතිවරයා හෝ එංගලන්ත අගමැතිවරයා හෝ විවේචනය කරන්නට එම රටවල මාධ්‍යවේදීන් පැකිලෙන්නේ නැත. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාධාරණ හේතු මත ඕනෑම පුද්ගලයකු හා ඕනෑම ආයතනයක් විවේචනය කිරීමට හැකියාවක් මෙරට මාධ්‍යකරුවාටද ලබාදී ඇති බව ය.

ලෝකයේ ජනමාධ්‍ය ආයතන තමන්ට අභිමත දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටින බව ද, ඊට වැඩි නැඹුරුතාවක් දක්වමින් ක්‍රියා කරන බව ද රහසක් නො වේ. එසේ වුව; මේ ආයතන අනෙකුත් දේශපාලන මතවලට ද, එම මත වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට ද තම මාධ්‍යවල ඉඩක් ලබාදෙයි. ජනමාධ්‍ය පොදුජනයාගේ වේදිකාවක් ලෙස ක්‍රියා කළ යුතු බවත්; සියලු මතවලට ඉඩදිය යුතු බවත් කියන මුත් ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ඉඩ ලැබෙන්නේ තෝරාගත් දේශපාලන ව්‍යාපාරවලට පමණි.

ජනාධිපතිවරයා අවධාරණය කරන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමු කරුණ වන්නේ ජනමාධ්‍යයේ ජාතික වගකීම ය. දෙවන කරුණ වන්නේ ජනමාධ්‍යයේ කාර්යභාරයයි. මේ කරුණු දෙක එකිනෙකට සම්බන්ධ ය. ජාතික වගකීම යන්නෙන් අදහස් කරන්නේ ජාතියේ පොදු යහපත හා ර‍ටේ ඉදිරි ගමන යැයි කියන්නට පුළුවන. ජනමාධ්‍යයේ කාර්යභාරය යනු ඒ සඳහා විධිමත් ආකාරයකින් ක්‍රියාකිරීම ය. ජනමාධ්‍ය සතුව විශාල බලයක් පවතී. එම බලය පාවිච්චි කළ යුත්තේ පොදු යහපත උදෙසා මිස පෞද්ගලික වාසිය සඳහා නො වේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දේශපාලන වශයෙන් බෙදී වෙන් වී ක්‍රියාකරනු දැකගත හැකි ය. පොදු යහපත යන්න අංක එකට ගතහොත් පවතින තත්ත්වය වෙනස් කරගත හැකි ය.

සිදුවීම් වාර්තා කිරීමේ දී මෙන් ම ඒ පිළිබඳ විවරණ සැපයීමේ දී ද පොදු යහපත මිනුම් දණ්ඩක් ලෙස තබාගැනීම වැදගත් ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටට හා ජනතාවට අහිතකර සිදුවීම්වල දී ජනමාධ්‍ය ඉතා පරෙස්සම් සහගත ලෙස ක්‍රියා කිරීම සිදුවිය යුතු බව ය. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට අදාළ සිද්ධිය නිදසුනක් ලෙස ගත හැකි ය. එම සිද්ධියට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බව ද, රාජ්‍ය ආයතනයක හෝ එම ආයතනවල නිලධාරීන්ගේ ද සම්බන්ධයක් ඊට නැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඉන් පැහැදිලි වන්නේ අදාළ සිද්ධිය කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව ය. සිද්ධියෙහි ඇත්ත නැත්ත නිරීක්ෂණය කිරීම ජනමාධ්‍යයේ වගකීමක් වුව ඊට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමෙන් අන්තර්ජාතික අවුලක් වුව ඇතිවන්නට පුළුවන. එය රටට අහිතකර ය.

රටක ඉදිරි ගමන සඳහා ද ආර්ථික සංවර්ධනය සඳහා ද විවිධ රාජ්‍යයන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවේ. ලෝකයේ කිසිදු රාජ්‍යයක් හුදෙකලාව දියුණු වන්නේ නැත. ජාත්‍යන්තර සබඳතා ඉතා වැදගත් ය. මේ විෂයයේදී ජනමාධ්‍යවලට වැදගත් වැඩ කොටසක් පැවරී ඇත. එය වගකීමකින් යුතුව ඉටුකිරීමට ජනමාධ්‍ය ආයතන වගබලා ගත යුතු ය. ජනමාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි මාතෘකා සම්බන්ධයෙන් දියුණු රටවල් බලවත් උනන්දුවක් දක්වයි. ජනමාධ්‍ය කිසිවක් සැඟවිය යුතු නැත. එහෙත් සිදුවීම්වල යථා ස්වභාවය වාර්තාකරණයෙන් හෙළිදරව් විය යුතුව තිබේ.

විවේචනයට මුළුමනින්ම ඉඩ ඇති බව ද ජනාධිපතිවරයා කියා තිබේ. ඊට අදාළ කරුණු කිහිපයක් ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එක; රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ගැන ය. දෙක; එම ආයතනවල ජනතා සේවය ගැන ය. තුන ; ආයතනවල සිදුවන දූෂණ වංචා හා අක්‍රමිකතා ගැන ය. හතර ; රටේ ආර්ථික සංවර්ධනය ගැන ය. පහ ; තරුණ පරම්පරාව අතර මතුවන නව ප්‍රවණතා ගැන ය. තරුණ පරම්පරාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නගර පිරිසුදු කිරී‍ෙම් හා නගර අලංකාර කිරීමේ වැඩසටහනක් ගෙන යයි. මේ සඳහා රාජ්‍ය අරමුදල් වැයවන්නේ නැත. තරුණ පරම්පරාව අතර පවත්නා මේ උද්‍යෝගය රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයයි. එබඳු ව්‍යාපෘතිවලට ජනමාධ්‍යයෙන් තල්ලුවක් ලැබෙන්නේ නම්; එය ඉතා වැදගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ. ජනමාධ්‍යයට එය පහසුවෙන් ම කළ හැකි ය.

ජනමාධ්‍යවලට කිසිදු බලපෑමක් ‍හෝ ඇඟිලි ගැසීමක් හෝ සිදු‍නොකරන බවට රාජ්‍ය නායකයා වෙතින් සහතිකයක් ලැබීම ඉතා වැදගත් ය. ඉන් හැඟෙන්නේ නිදහස් ජනමාධ්‍ය භාවිතයකට රට තුළ හොඳ පසුබිමක් ඇති බව ය. ජනමාධ්‍ය ආයතන මෙන් ම ජනමාධ්‍යකරුවන් ද මේ පසුබිමෙන් නියම ප්‍රතිඵල නෙළාගැනීමට පෙළ ගැසිය යුතු ය. එහිදී අමතක නොකළ යුතු සාධකය වන්නේ ජාතික වගකීම හා කාර්යභාරය යන්න ය.

 

නව අදහස දක්වන්න