ශ්‍රී ලංකා-පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් තරගය | දිනමිණ

ශ්‍රී ලංකා-පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් තරගය

අබීඩ් අලී එක්දින-ටෙස්ට් මුල්ම තරගවලින් ශතක ලබා ලෝක වාර්තාවක් පිහිටුවයි

ධනංජයගෙන් මේ වසරේ දෙවැනි ටෙස්ට්  ශතකය

වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර ඊයේ නිමාවූ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි. සිය මංගල එක්දින හා ටෙස්ට් තරගවලදී ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස පාකිස්තාන ආරම්භක පිතිකරු අබීඩ් අලී ක්‍රිකට් වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරීම මේ තරගයේ සුවිශේෂී සිදුවීම විය.

රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අබීඩ් අලී නොදැවී ලකුණු 109ක් ලබා මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර මේ වසරේ මාර්තු මාසයේ ඩුබායි හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 112ක් ලබා දක්ෂතා අතර සිටියේය. දස දහසක පමණ නරඹන්නන්ට ආශ්වාදය ගෙන දෙමින් විශිෂ්ට පිතිකරණයක නිරතවූ අබීඩ් අලී මිනිත්තු 301ක් කඩුල්ලේ රැදී සිට පන්දු 201කට මුහුණදී හතරේ පහර 11ක් එල්ල කළේය. තම 3වැනි ටෙස්ට් ශතකය වේගයෙන් වාර්තා කළ බාබර් අසාම් මිනිත්තු 151ක කාලයක් කඩුල්ලේ සිට පන්දු 128කදී හතරේ පහර 14ක් සමග නොදැවී ලකුණු 102ක් රැස් කළේය. අබීඩ් හා බාබර් අතර තෙවැනි කඩුල්ලට නොබිදුණු සබඳතාව ලකුණු 152ක් විය.

මේ වසරේ දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102ක් ලැබූ අතර මෙයට පෙර පසුගිය අගෝස්තුවේදී නවසීලන්තයට එරෙහිව කොළඹදී ලකුණු 109ක් ලබා ගත්තේය. මේ වසර තුළ ටෙස්ට් ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා වන්නේ ධනංජය පමණි.

ධනංජය ඊයේ ලබාගත් ශතකය රාවල්පින්ඩි ක්‍රීඩාගෙණයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තාකළ දෙවැනි ශතකය විය. වසර 2000දී රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී අරවින්ද ද සිල්වා ලකුණු 112ක් වාර්තා කළ අතර එම ලකුණු ප්‍රමාණය ධනංජයට පසුකිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කිරීමෙනි. නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 24වැනි අර්ධ ශතකය මේ තරගයේදී වාර්තා කිරීමට සමත් විය. තරගය නිමාකරද්දී පාකිස්තානය පළමු ඉනිමට ඕවර් 70කදී ලකුණු 252ක් රැස්කරගත් අතර කඩුලු 2ක් බිඳ වැටුණි.

අයි. සී. සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් රාවල්පින්ඩි පළමු ටෙස්ට් තරගයට දින හතරකදීම වර්ෂාව, අදුරු ආලෝක තත්ත්වය හා මීදුම් සහිත කාලගුණය බාධා ගෙනදීම කනගාටුවට කරුණක් විය. මේ නිසා ක්‍රීඩාංගණයට සෑම දිනකම පැමිණි පන්දහසකට අධික ප්‍රේක්ෂක පිරිස බලාපොරොත්තු සුන්වී ආපසු ගියද ඊයේ අවසන් දිනයේ පින්ඩි ක්‍රීඩා පිටිය තද හිරු එළියෙන් නැහැවී ගිය හෙයින් දිනය පුරාම තරගය බාධාවකින් තොරව පැවැත්වුණි.

එවැනි පසුබිමක් යටතේ ධනංජය ද සිල්වා ඊයේ උදෑසන තම ටෙස්ට් දිවියේ 6 වැනි ශතකය වාර්තා කළේ මිනිත්තු 167ක කාලයක් කඩුල්ලේ රැදී සිට පන්දු 166කදී හතරේ පහර 15ක් එල්ල කරමිනි. නියම ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය පාකිස්තාන පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකර පන්දුවට පහරදෙමින් සිටියදී මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවකට අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් ලකුණු 100 පසු කිරීම වර්ණවත් අවස්ථාවක් විය. ඔහු සමග අනෙක් අන්තයේ සිටි දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය.

අනතුරුව ආරම්භවූ පාකිස්තාන පළමු ඉනිමේ මුල් කඩුල්ල මිනිත්තු 13ක් ගතවෙද්දී බිඳ වැටුණි. කසුන් රාජිතගේ ෆුල්ටොස් පන්දුවකට චෙක් ඩ්‍රයිව් පහරකට ගිය ආරම්භක පිතිකරු ෂාන් මෂූඩ් මිඩ් ඕෆ් හී සිටි දිනේෂ් චන්දිමාල් වෙත උඩ පන්දුවක්දී ලකුණු බිංදුවකට දැවී ගියේය. අනතුරුව අබීඩ් අලී සමග එක්වූ නායක අසාර් අලී දෙවැනි කඩුල්ලට ලකුණු 87ක සම්බන්ධතාවක් ගොඩ නැංවීය. අසාර් අලීගේ ඉනිම ළහිරු කුමාරගේ පන්දුවකට දිමුත් අතට උඩ පන්දුවක් දීමෙන් ලකුණු 36කට හමාරවිය.

කෙසේ වුවද දින 5කින් සමන්විත සම්පූර්ණ ටෙස්ට් තරගයේ දෙපිලටම ඕවර් 450ක් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණද තරගය අවසානවන තුරු යැවීමට හැකි වූයේ ඕවර් 167ක් පමණි. සත්කාරක පිල වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු සමඟ පිටියට පිවිසි අතර ආරම්භක පිතිකරු අබීඩ් අලි හා වමතින් වේග පන්දු යවන උස්මාන් ෂින්වාරි ටෙස්ට් වරම් හිමිකර ගත්හ. ශ්‍රී ලංකා පිලේ දිල්රුවන් පෙරේරා නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස එක්ව සිටි කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු හා ළහිරු කුමාර වේග පන්දු යවන්නන් ලෙස එක්ව සිටියහ. එහෙත් මේ තරගයේ පන්දු යවන්නන්ට බලාපෙරොත්තුවූ පරිදි සහයක් නොළැඹුණු අතර පිතිකරුවෝ අණසක පැතිර වූහ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ලබන 19 වැනිදා ආරම්භ කිරිමට නියමිතය. එබැවින් ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට කරච්චි ගුවන් තොටුපොල දක්වා ශ්‍රී ලංකා හා පාකිස්තාන ක්‍රීඩකයෝ ඊයේ සවස ගමන් ඇරඹූහ. ඉස්ලාමාබාද් - කරච්චි ගුවන් ගමන පැයකුත් මිනිත්තු 50කින් යුක්තවන අතර හෙට පෙරවරුවේ කණ්ඩායම් දෙකේ පුහුණුවීම් ආරම්භ කෙරේ.

 ප්‍රින්ස් ගුණ­සේ­කර  රාව­ල්පින්ඩි සිට.....  

නව අදහස දක්වන්න