වෝහාරිකයට කාල පරතර ප්‍රශ්නයක් එනවා | දිනමිණ


 

වෝහාරිකයට කාල පරතර ප්‍රශ්නයක් එනවා

දුමින්ද අලුත්ගෙදර

සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු හිටපු සභාපති

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාවට සිදුවනු ඇත්තේ කුමක්ද? ජනාධිපතිවරණයේ ජය පරාජය තීරණය වූ ආකාරය ගැන සිතන්නේ කුමක් ද? මහ මැතිවරණයේදී අනුගමනය කරනු ලබන පිළිවෙත කුමක් ද? වැනි කරුණු සම්බන්ධව අදහස් දක්වමින් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති එහා ඉවුරට එක්වේ.

පාස්කු ප්‍රහාරයෙන් ජනපතිවරණය ජය තීන්දු වුණා

ජනපතිවරණ සටන තිබුණේ දෙන්නෙක් අතර

මහමැතිවරණයෙන් වැඩි නියෝජනයක් අපට ලැබෙයි

මැතිසබය අවසන් වීමෙන් වෝහාරික වාර්තාවට බලපෑමක් වුණා

පාර්ලිමේන්තු වාරාවසානය ගැන හැඟීමක් තිබුණෙ නැහැ

තාප්ප සිත්තමට නියාමනයක් තිබුණොත් හොඳයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ දිනයේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කළා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට මේ වාර්තාව ලැබුණේ නොවැම්බර් 27 වැනිදා. ඊළඟට පාර්ලිමේන්තුව කැඳවන පළමු දිනය වන දෙසැම්බර් 3 වැනිදාට කාරක සභා සාමාජිකයන් එක්ක සාකච්ඡා කරන්න මමයි යොදා ගත්තේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරනවාය කියන කාරණය ගැන මම අවබෝධයක හිටියේ නැහැ. ඒ ගැන මම දැන ගත්තේ දෙසැම්බර් 2 වැනිදා. මට තිබුණ අවශ්‍යතාවය තමයි, මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව කැඳවන පළමුවැනි දවසෙම මේ වාර්තාව ඉදිරිපත් කරලා, වාර්තාවට අනුව ගන්න ඕනෑ ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණය කාරක සභාවේ සාකච්ඡා කිරීම හේතුව තමයි මේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන රටේ ජනතාවගේ දැඩි උනන්දුවක් තිබුණා. ජනතා උනන්දුවට අනුව මේ ගැන හෙළි විය යුතුයි කියන මතය මට තිබුණා.

පාර්ලිමේන්තු වාර අවසාන කිරීම මහ බැංකු බැඳුම්කර වංචාව යටගැසීමට කළ එකක් බව ඇතැම් අය පෙන්වා දෙනවා?

එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා නම් මම දන්නෙ නැහැ. කොහොම නමුත්, මේ කාරණා දෙකට සමපාත වීමක් පේන්න තියෙනවා. වාර අවසාන කළ පාර්ලිමේන්තුව නැවත ජනවාරි 3 වැනිදා කැඳවලා, අලුතෙන් කෝප් කමිටුව පිහිටුවන්න ඕනෑ. ඊට පස්සේ ඒ කාරක සභාවට සභාපතිවරයෙක් පත් කරගන්නත් ඕනෑ. ඒ කාර්යය සිදුවන කාලය වෙනකොට බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවන කාලයත් ළඟා වෙයි. ගැටලුව තියෙන්නේ එතැන. 3 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කරන එක තවත් එක් දිනයකින් හරි වෙනසක් වුණා නම්, මීට වඩා ක්‍රියාමාර්ග ගන්න අපට පුළුවන්කමක් තිබුණා.

නව පාර්ලිමේන්තුව කැඳවීම් කළාට පස්සේ බිහි වෙන කෝප් කමිටු සභාපතිවරයාට, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් ද?

අනිවාර්යයෙන් පුළුවන්. නමුත්, පත්වන සභාපතිවරයාට සහ කාරක සභාවට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න තියෙන කාලයයි, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලයයි අතර තියෙන කාල පරතරය අඩුයි.

ඔබේ පක්ෂය දූෂණ වංචා සම්බන්ධයෙන් නිතර හඬ නැඟූ පක්ෂයක් වුවත් පසුගිය ජනපතිවරණයේදී ඡන්ද පදනමේ බිඳ වැටීමක් තියෙනවා. හේතුව මොකක් ද?

ජනාධිපතිවරණයේදී රටේ ජනතාව දූෂණ වංචා ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඊට වඩා සලකා බලා තියෙන්නේ ජාතික මට්ටමෙන් මතු වුණ කාරණා දෙසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක රටේ සාකච්ඡාව, සංවාදය වුණේ ජාතික ආරක්ෂාව කියන කාරණය. රට බේර ගන්න පුළුවන් කෙනා කවුද? මුස්ලිම් අන්තවාදයෙන් මේ ප්‍රශ්නය බේරන්න පුළුවන් කෙනා කවුද? ඊට මුහුණ දෙන්න පුළුවන් කෙනා කවුද? කියන කාරණයත් එක්ක අප්‍රේල් 21 වැනිදා ඉදලා ජනාධිපතිවරණය පෙළ ගැසුණා. ඒ නිසා තමයි ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව තෝරා ගත්තේ. අනෙක් පාර්ශ්වය එහෙමත් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවට බිය වුණ පිරිස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරද්දන්න පුළුවන් කියලා තෝරා ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාවයි. ඒ මූලික බෙඳීම තීව්‍ර බෙදීමක් වෙද්දී දෙන්නෙක් අතර සටනක් වුණා. එතැනදී තුන්වැනි කණ්ඩායමක් හැටියට අපට තිබුණ ඡන්ද ප්‍රමාණය අඩු වුණා.

ඉදිරියේදී එන මහ මැතිවරණයේදීත් ජනතාව ඔය වගේ ම උත්තරයක් දුන්නොත්?

ජනාධිපතිවරණය වගේ, මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් අපි සම්බන්ධයෙන් ජනතාව තීන්දු තීරණ ගනීවි කියලා අපි හිතන්නේ නැහැ. මහ මැතිවරණයේදී තෝරා පත් කරගන්නේ කණ්ඩායමක්. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක භූමිකාව ඉටු කරන්න පාර්ලිමේන්තුවට අපේ සාමාජිකයෝ වැඩි ප්‍රමාණයක් ජනතාව තෝරා ගනියි කියලා.

මහ මැතිවරණයට මුහුණ දෙන්න ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයෝ සූදානම් ද?

අපේ බිම් මට්ටමේ සාමාජිකයෝ ඕනෑම වෙලාවක මේ කාරණයට සූදානම්. අහන්න ඕනෑ, ජනතාව මේකට ලැහැස්තිද කියලයි. අපට වැදගත් වන්නේ ජනතාවගේ සූදානමයි. මේ රටේ ජනතාව ජවිපෙ ක්‍රියාකාරිත්වය දන්නවා. අපේ ක්‍රියාකාරිත්වය නිසා කෝප් කමිටුව කියන්නේ මොකක්ද කියලා ජනතාව දැන් දන්නවා. වංචා දූෂණ සම්බන්ධයෙන් අපේ මැදිහත්වීම පිළිබඳ රටේ ජනතාව දන්නවා. පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් අපේ ක්‍රියාවලිය ඔවුන් අත්විඳලා තියෙනවා. ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න අපේ කණ්ඩායමේ තියෙන සක්‍රීය දායකත්වය, මැදිහත් වීම කවුරුත් දන්නවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑද කියන එක ජනතාව තීරණය කරන්න ඕනෑ.

ඔබ පක්ෂය 2015දී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න සහයෝගය ලබාදුන්නා. නමුත්, එදා පරාජය කළ කණ්ඩායම මෙවර 69ලක්ෂයක ජනවරමක් ලබා ගන්නවා?

මම කලින් කිව්වා වගේ රට ජාතිය බේරා ගැනීමට 69ලක්ෂය විශාල කාර්යය භාරයක් කරලා තියෙනවා. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවීමට මහා සංඝරත්නය, ජනමාධ්‍ය විශාල කැපවීමක් කළා. ඒ අතර ඔබ කියන කාරණය වැදගත්. 2015දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න කටයුතු කරපු බලවේග, පසුගිය අවුරුදු හතර හමාර තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ලබාදීපු ඡන්දය ගැන දෙගිඩියාවකට පත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගත්තු සමහර ක්‍රියාමාර්ග සහ මහින්ද රාජපක්ෂ පාලනයට තිබුණ චෝදනා ඔප්පු කරන්න කටයුතු නොකිරීම නිසා යහපාලන රජය ගේන්න ඡන්ද දීපු ජනතාවට මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම වැරැදිද කියලා හිතුණා. ඒකට හේතුව අපි නෙවෙයි. ඒකට හේතුව එජාපයට ඇති නොහැකියාව, දුබලතාවය, බැරිකම. රාජපක්ෂ පාලනයේ හොරු අල්ලන්න එනවා කියලා ඔවුන් තිබ්බටත් වඩා හොරකම් කළා. මහ බැංකු බැඳුම්කර වංචාව එතැන ප්‍රධාන එක. එතකොට ජනතාවට මේ හොරුන්ට වඩා කලින් හොරු හොඳයි කියලා දැනුණා.

ජ.වි.පෙ. මාධ්‍ය හමුවකදී, ටිල්වින් සිල්වා මහතා වැද්දාට ගොරකා දඩ මස් කරන්නත්, දඩ මස් ගොරකා කරන්නත් පුළුවන් කියලා කිව්වා. වත්මන් ආණ්ඩුවට ද එහෙම කිව්වේ?

නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට, තමන්ට ඕනෑ විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. බැඳුම්කර ක්‍රියාවලිය කියන්නෙත් ඒ වගේ දෙයක්. වත්මන් රජය වසර ගණනාවක් පුරා මේ බැඳුම්කර වංචාව ගැන කතා කළා. එය ඒ අයගේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. ඒක ලංකාවේ සුවිශාලතම මුදල් මංකොල්ලය කියලත් කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයලා, රවී කරුණානායක මහත්තයලා ඉන්න විනෝදයේ හැටියට ඒ අය නිවැරැදිකාරයෝ වෙලා පරීක්ෂණය කරපු අපි වැරැදිකාරයෝ වෙන්න පුළුවන් කියලා මට පේනවා. සමහර අයගේ නඩු වීසි වෙන විදිහට ගොරකා දඩ මස් කරනවා ද? දඩ මස් ගොරකා කරනවා ද? කියලා පේනවා. රජයේ නිලධාරියෙක් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා නම් මම බලයට ආවම නිලධාරියා මාරු කරලා වැඩක් නැහැ. මම කරන්න ඕනෑ උසාවියට ගිහින් මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරලා නිලධාරියා වැරැදියි කියලා ඔප්පු කරන එක. ඒක නීතිය ඉදිරියේ කරන්න ඕන දෙයක්. නීතිය ඉදිරියේ කරන්න ඕනෑ දේවල් රාජ්‍ය බලය පාවිච්චි කරලා කරන ආකාරයෙන් තමයි ගොරකා දඩ මස් ද? දඩ මස් ගොරකා ද? කියලා තීරණය වන්නේ.

පෝස්ටර් සංස්කෘතිය ඉවත් වෙලා, තාප්ප කලාව කරළියට ඇවිත් තියෙනවා. මේ කාරණය ඔබ දකින්නේ කොහොම ද?

පෝස්ටර් ගහන්න ඕනෑ මිනිහා ඇඟේ පෝස්ටර් ගහගෙන හරි විරෝධතා පළ කරයි. තාප්ප වර්ණවත් වෙන එක හොඳ වැඩක්. රට පුරා පෝස්ටර් එල්ලගෙන, බිල් බෝඩ් එල්ලගෙන ඉන්නවාට වඩා ජනතාව ස්වේච්ඡාවෙන් හරි මෙහෙම දෙයක් කරන එක හොඳයි. විශේෂයෙන් තරුණ තරුණියන්ගේ නිර්මාණශීලී අදහස් ඉදිරියට එනවා. ඒ ඉදිරිපත් කරන ප්‍රකාශනයත් පොදු කාරණයක් වෙනවා නම් වඩාත් හොඳයි. පරිසරය සුරකිමු කියන එක දිහා බැලුවොත් ඒක කාටත් පොදුයි. අපි වගේ බහු විවිධත්වයත් තියෙන රටක මේ වගේ තැන්වල ප්‍රකාශයට පත් කරන්න ඕනෑ විවිධත්වය ම තමයි. මේවා ජාතිවාදී, ආගම්වාදී වෙනවා නම් ඒක හොඳ නැහැ. කවුරුහරි මේ චිත්‍රවලින් පිළිඹිබු වෙන පණිවුඩය ගැන නියාමයක් කරනවා නම් ඒක වැදගත්. මම කියන්නේ, කරන වැඩේ ගොඩක් හොඳයි, නමුත් ගොඩක් දුර බලා කරනවා නම් වඩාත් හොඳයි.

 

නව අදහස දක්වන්න