නාස්තිකාර වියදම්! | දිනමිණ


 

නාස්තිකාර වියදම්!

නාස්තිකාර වියදම් අඩු කිරීමෙන් ද අරපිරිමැස්ම රාජ්‍ය අංශයට හුරු කිරීමෙන් ද රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව සනාථ වී තිබේ. මේ අනුව ගෙවී ගිය මාසයක කාලය තුළදී රජය රුපියල් කෝටි දෙදහසක මුදලක් ඉතිරි කරගෙන ඇති බවද වාර්තා වී තිබේ. මෙය ආර්ථික ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. රාජ්‍ය අංශය විශාල වශයෙන් මුදල් නාස්ති කරන බව පිළිගත් කාරණයකි. මහජන මුදල් වැය කිරීමේ දී නිලධාරීන් ඉතා වගකීමකින් කටයුතු කළ යුතු වුව; එය සිදුවන්නේ නැත. දීර්ඝ කාලයක සිට රාජ්‍ය අංශයේ නාස්තිකාර වියදම් ගැන කතිකාවක් තිබුණ ද ඊට විසැඳුමක් ලැබී තිබුණේ නැත.

ගිය ආණ්ඩුව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු නිල කාර්යාල පැවැතියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක ය. එම ගොඩනැඟිල්ල පිළිසකර කිරීම සඳහා ද එය කුලියට ගැනීම සඳහා ද කෝටි ගණනක මුදලක් වැය කර තිබිණි. ඒ හැරත් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයක් ලෙස පාවිච්චියට නොගත් බවට ද විවේචනයක් පවතී. මෙය නාස්තිකාර වියදමක් බව අමුතුවෙන් කිවයුතු නැත. දේශපාලන බලය, රාජ්‍ය බලය වැනි දේවල් යොදාගෙන මෙලෙස මහජන මුදල් නාස්ති කිරීම සැලැකිය හැක්කේ ජාතික අපරාධයක් හැටියට ය. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ඒවා නිවැරැදි කිරීමට පියවර ගෙන තිබේ.

නායකයන් සිය පැවැත්මෙන් ම ආදර්ශ ලබාදෙන විට පහළ ස්ථරවලට ඒවා අනුගමනය කිරීමට සිදුවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සේවක මණ්ඩලය අඩු කළේ ය. ආරක්ෂක පිරිවර අඩු කළේ ය. වාහන භාවිතය සීමා කළේ ය. අප දන්නා එක කාරණයක් වන්නේ ජනාධිපති උපදේශකවරුන් ලෙස විශාල පිරිසක් පත් කිරීම ය. ඇතැම් උපදේශකවරුන්ට නිල රාජකාරියක් නැත. එහෙත් ඔවුන් සඳහා ගෙවීම් හා තවත් පහසුකම් ලබාදීම සිදු වෙයි. උපදේශකයන්ගේ වාහන ගෙදර පාවිච්චිය සඳහා යොදාගනු ලබන්නේ රියැදුරකු ද සමඟ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ක්‍රමය නවත්වා ඇත.

රාජ්‍ය - ආයතනවල දුරකථන බිල්, වතුර බිල්, ලයිට් බිල් හැකිතාක් අඩුකරගන්නා ලෙස උපදේශනයක් ලැබී තිබේ. බොහෝ ආයතනවල විදුලිපංකා දවසේ පැය විසිහතර තුළම කැරකෙයි. ඒවා නිවා දමන කෙනකු නැත. වැඩක් ඇතිව ද, නැතිව ද ලයිට් දැල්වෙයි. ඒවා නිවා දමන්නට ද කෙ‍නකු නැත. කාර්යාල වසා දමන අවස්ථාවලදී ඒවා පිළිබඳ නිරීක්ෂණයක් කළ යුතු වුව දැන් ඒවා සිදුවන්නේ නැත. මේ සඳහා යන විශාල වියදම ගැන කිසිවකු තැවෙන්නේ ද නැත. ආයතන සඳහා වූ ඇස්තමේන්තුගත ප්‍රතිපාදන අවසන් වන විට නැවත භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් කරවාගැනීම රාජ්‍ය අංශයේ ක්‍රමය වෙයි. නිලධාරීන්ගේ අතින් මුදල් වැය වන්නේ නැත. දේශපාලකයන්ගේ අතින් මුදල් වැය වන්නේ ද නැත.

සෑම රාජ්‍ය සේවකයකු ළඟ ම පෞද්ගලික ජංගම දුරකථනයක් හෝ දුරකථන දෙකක් හෝ පවතින්නේ යැයි කිවහොත් එය අසත්‍යයක් නො වේ. එහෙත් බොහෝ දෙනෙක් සිය පෞද්ගලික කටයුතු සඳහා කාර්යාලයීය දුරකථනම පාවිච්චි කරති. සමහරු කාර්යාලයීය දුරකථනය ඔස්සේ පැය ගණන් කතා කරති. ඒ රාජකාරි දේවල් නො වේ. ඇතැම් කාර්යාලවල දුරකථනවලට ඉබ්බකු දමා ඇත. එහි යතුර ඇත්තේ ලොක්කා ළඟ ය. මේ ක්‍රමය දුරකථන බිල් අඩුකිරීම සඳහා යොදාගත හැකි උපාය මාර්ගයකි. රජය සතු සම්පත් භාවිත කිරීමේ දී යම් විනයක් පවත්වාගත යුතු ය. ඒ විනය ආයතන ප්‍රධානීන්ට ගොඩනැඟිය හැකි ය. ආයතනයක් පාලනය කිරීම යනු එහි සේවක මණ්ඩලවල විනය පවත්වාගනිමින් මහජන සේවාව සැපයීම ය. ඒ සඳහා නිලධාරීන්ට හැඟීමක් තිබිය යුතු ය.

රාජ්‍ය ආයතනවල වාහන පාවිච්චිය සම්බන්ධයෙන් ද සීමාවන් පනවා ඇත. අලුත් වාහන ගැනීමක් සිදුවන්නේ නැත. පවතින වාහන ද අත්‍යවශ්‍ය කටයුතු සඳහා ම භාවිත කළ යුතු බවට උපදේශන ලැබී තිබේ. රජයේ ඉහළ නිලධාරීන් වාහන කිහිපයක් භාවිත කරන බව ද, ඇතැම් වාහන නිවසේ හා පවුලේ වැඩ සඳහා රියදුරන් ද සමඟ යොදවන බව ද රහසක් නොවේ. මේ සඳහා ඉන්ධන මෙන් ම රියැදුරන්ගේ ගෙවීම් ද සිදුකරන්නේ රජය යි. රජයේ ඉහළ නිලධාරීන් දරුවන් පාසල් ගෙන යෑම සඳහා ද, ඔවුන් අමතර පන්තිවලට ගෙන යෑම සඳහා ද නිලරථ යොදාගන්නා බව ද ප්‍රකට කාරණයකි. මේවා නැවැත්විය හැකි නම්; තවත් විශාල මුදලක් රජයට ඉතිරි කරගත හැකි ය. ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙන තුරුම සිටිය යුතු නැත. ඇමැතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට අදාළ තීන්දු ගෙන නාස්තිකාර වියදම් කපා හැරිය හැකි ය.

ඉන්දියාවේ රාජ්‍ය ආයතන පාවිච්චියට ගනු ලබන සෑම වාහනයක් ම ඉන්දීය නිෂ්පාදන වෙයි. ඉන්දීය පොලිස් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊට ලබාදිය හැකි හොඳම නිදසුන වෙයි. ඉන්දියාවේ පර්යේෂණ නිලධාරීහු දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය අනුග්‍රහය මත පර්යේෂණයක නිරත වූහ. නිලධාරින් දෙදෙනා සඳහා අවශ්‍ය වාහනය කුමක්දැ’යි අපේ නිලධාරීන් විමසා ඇත. අපට මරුති කාරයක් ලබා දෙන්නැ’යි ඉන්දීය නිලධාරීන් පිළිතුරු දී ඇත. මරුති වාහනය ඉන්දීය නිෂ්පාදනයකි. එය සරල ය. චාම් ය. පහසුවෙන් නඩත්තු කළ හැකි ය. ඉන්දීය රාජ්‍ය සේවයේ ඇති අරපිරිමැස්ම එයින් පැහැදිලි වෙයි.

රටක් දියුණුවීමට නම්; නාස්තිකාර වියදම් කපාහැරිය යුතු ය. ජනාධිපතිවරයා ලබාදෙන ආදර්ශය රාජ්‍ය අංශයට පමණක් නොව පොදුවේ සමාජයටත් වැදගත් ය. එක අතෙකින් අප ඉතිරි කිරීමට බර විය යුතු ය. තව අතෙකින් අරපිරිමැස්ම පුහුණු විය යුතු ය.

 

නව අදහස දක්වන්න