හෙළ වෙදකම ලෝක ප්‍රජාවට! | දිනමිණ


 

හෙළ වෙදකම ලෝක ප්‍රජාවට!

හෙළ වෙදකම හා එම වෛද්‍ය ශාස්ත්‍රයට අයත් ඖෂධ ජාත්‍යන්තර ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැ’යි අගමැතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. හෙළ වෙදකම යැයි කියූව ද, ආයුර්වේද, යුනානි ආදී වෛද්‍ය ක්ෂේත්‍රයන් ද ඊට අයත් කර ගත යුතුව තිබේ. ආයුර්වේදයේ හා යුනානි වෛද්‍ය ශාස්ත්‍රයේ සමාරම්භය ශ්‍රී ලංකාවේ දී සිදු නොවූවද අපටම ආවේණික ක්‍රමයකට දැන් එම විද්‍යාවන් මෙරට දී භාවිත වෙයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් ඉහත කී වෛද්‍ය - විද්‍යාවන් පිළිබඳ ප්‍රකට වෙයි. මේ සෑම වෛද්‍ය ශාස්ත්‍රයක් තුළම විස්මිත වෙදකම් තිබේ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කළ නොහැකි රෝගීන් පෙරදිග වෛද්‍ය විද්‍යාවෙන් සුව කළ අවස්ථා තිබේ.

හෙළ වෙදකම ගතහොත් එය පැවැත එන්නේ රජවරුන්ගේ කාලයේ සිට ය. වෙදකම උගන්වන ශාස්ත්‍රාල නොපැවතිය ද පරම්පරාවෙන් - පරම්පරාවට එය රැකුණේ ය. කැඩුම් - බිඳුම් වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම ආදී ලෙසින් එම වෛද්‍ය ශාස්ත්‍ර පැවැතිණි. බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නො වූ බොහෝ දේවල් කැඩුම් - බිඳුම් වෙදකම තුළ පවතී. විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණ කැඩුම් - බිඳුම් ප්‍රතිකාර ලබාගෙන සුව වී යන අවස්ථා තිබේ. එහෙත් එම සිදුවීම්වලට ප්‍රචාරයක් නැත. ලෝකය මේ වෙදකම ගැන දැනගතහොත්; යුරෝපයෙන් පවා රෝගීන් පැමිණීමට ඉඩ ඇත. ආයුර්වේද රෝහල් ගණනාවක් ඇතත්; ඒවායෙහි නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා පිරිස අඩු ය.

ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන පෞද්ගලික රෝහල් කිහිපයක් ද රට තුළ පවතී. එම රෝහල් මහජනයාගේ දැඩි ආකර්ෂණය දිනාගෙන ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා ද සැලැකිය යුතු පිරිසක් එති. ආයුර්වේදයේ පවතින සම්භාහනය, තෙල් සාත්තුව, තැවීම් හා නිල තෙරපීම් වැනි ප්‍රතිකාර ක්‍රම කෙරෙහි ද කැඳ, කල්ක, කෂාය, තැම්බුම් ආදී ඖෂධීය පානයන් කෙරෙහි ද අලුත් උනන්දුවක් රට තුළ පවතී. ආයුර්වේදයට අදාළ කැඳවලින් පමණක් දියවැඩියාව ආදී රෝග සුව කරගත් පුද්ගලයෝ ද සිටිති. දියවැඩියාව, අධි-රුධිර පීඩනය වැනි රෝග නිට්ටාවටම සුවකරන පාරම්පරික වෛද්‍යවරු ද සිටිති. එම වෛද්‍යවරුන් ප්‍රසිද්ධියට පත්වන්නේ ප්‍රචාරණයක් ලබාදුනහොත් පමණි.

අපේ පාරම්පරික හෙළ වෙදකමේ ඇති රහස් බෙහෙත් වට්ටෝරු වෙද මහත්වරුන්ගේ අභාවයත් සමඟ මැකී යන්නටත් පුළුවන. පාරම්පරික වෙදකම පවතින්නේ පියාගෙන් පුතාට යනා දී ලෙසින් ය. බෙහෙත් වට්ටෝරු හා ප්‍රතිකාර ක්‍රම කටපාඩමින් රැකගනු ලැබේ. මේවා සුරක්ෂිත කිරීම සඳහා හෝ අනාගත පරපුරට දායාද කිරීම සඳහා හෝ විධිමත් වැඩපිළිවෙළක් ඇති බවක් පෙනෙන්නට නැත. නාවින්නේ ආයුර්වේද පර්යේෂණ ආයතනයක් ඇතත්; එය ප්‍රයෝජනවත් කාර්යයක ‍යෙදෙන බවක් දකින්නට නැත. මේ පර්යේෂණ ආයතනය එක්තරා කාලයක් තුළ දී දිගින් - දිගට ම පාහේ නව සොයාගැනීම් ගැන වාර්තා කර තිබිණි. දැන් එබඳු තත්ත්වයක් එහි නැත. සුදු කබර රෝගයට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාරයක් නැත. එහෙත් නාවින්නේ පර්යේෂණ ආයතනය සුදුකබර මුළුමනින්ම සුවකරන ප්‍රතිකාර පන්තියක් සකස් කර තිබිණි.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස අපේ වෙදකම නංවා සිටිමින් එය ජාත්‍යන්තරය අතර ප්‍රචලිත කළ යුතු බවය. විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ එය කළ හැකි ය. ආයුර්වේදය හා හෙළ වෙදකම සම්බන්ධයෙන් ඇති ආයතන මේ සඳහා ස්ථාවර වැඩ සැලැසුමක් ඇති කළ යුතුව තිබේ. අපට හැඟෙන පරිදි පළමුව කළ යුත්තේ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් සොයා ගැනීම ය. ආයුර්වේදය සඳහා වූ විශ්වවිද්‍යාලයයක් ඇති බැවින් එම ක්ෂේත්‍රයේ සුදුසුකම් ඇති අය හඳුනාගැනීම පහසු ය. එහෙත් හෙළ වෙදකමෙහි නියුතු දක්ෂ වෛද්‍යවරුන්ට සහතික නැත. එම වෛද්‍යවරුන් පරම්පරාවෙන් හා අත්දැකීම් මතින් වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ අය ලෙස සැලැකිය හැකි ය. මේ අය අතර අති දක්ෂ වෛද්‍යවරු සිටිති. ඒ හැරෙන්නට ඔවුන් සතු රහස් බෙහෙත් වට්ටෝරු ද තිබේ. මේ සියල්ලෙන් ප්‍රයෝජන ගත යුතුය.

නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් වන්නේ හොර වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට තුළ ඇති බවය. ඔවුන් හම්බ කිරීමේ මාර්ගයක් ලෙස හෙළ වෙදකම යොදාගෙන තිබේ. සමහරු එය ව්‍යාපාරයක් බවට පෙරළාගෙන තිබේ. විවිධ ලේබල් යටතේ වෙළෙඳ පොළට නිකුත් කරන ඖෂධීය පාන වර්ග තිබේ. විවිධ රෝග සඳහා සුදුසු යැයි ප්‍රසිද්ධ කරන ලද ඖෂධ ද තිබේ. මේවායින් රෝග උත්සන්න වන අවස්ථා ද ඇත. හෙළ වෙදකමේ ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා ප්‍රමිතියක් හා පිළිගත් ක්‍රමයක් නොවීම මීට හේතුව බව කිව යුතුය. මීට අදාළ රාජ්‍ය ආයතනවලට ඉහත සඳහන් ප්‍රමිතිය ඇති කළ හැකි ය. එය කළ යුත්තකි. එසේ නොවුණහොත් හෙළ වෙදකම පිළිබඳ මහජන විශ්වාසය බිඳී යනු ඇත.

වෙදකමට අවශ්‍ය දේශීය බෙහෙත් පැළෑටි හා වෙනත් ඖෂධ සපයා ගැනීම ඉතා දුෂ්කරය. අතීතයේ දී නම්; වනාන්තරවලින් ඒවා සපයා ගැනිණි. මේ වනවිට බොහොමයක් වනාන්තර හෙළි වී ඇත. බෙහෙත් පැළෑටි විනාශ වී ඇත. ඖෂධ වර්ග හා පැළෑටි හඳුනන පිරිස ද අඩු ය. ඖෂධ නිෂ්පාදනය මෙන් ම බෙහෙත් පැළෑටි නැවත වගා කිරීම කෙරෙහි ද උනන්දුවක් ඇති විය යුතුය. රාජ්‍ය - අනුග්‍රහය ඇති ව එබඳු වැඩසටහනක් ඇති කළ යුතුව තිබේ. ලෝක ප්‍රජාව අතර අපේ හෙළ වෙදකම ප්‍රචලිත කළ හැකි නම්; එය රටට කීර්තිය මෙන් ම ආදායම ද ලබාදෙන මාර්ගයක් වනු ඇත.

 

නව අදහස දක්වන්න