නිෂ්පාදනය ලොකු පීඩනයක් සාරංග දිසාසේකර | දිනමිණ


 

නිෂ්පාදනය ලොකු පීඩනයක් සාරංග දිසාසේකර

ලංසුපතිනියෝ ටෙලි නාට්‍යය ITN නාලිකාව ඔස්සේ සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 9.00ට විකාශය වේ. මෙහි අධ්‍යක්ෂණය තුසිත අනුරුද්ධ ගෙනි. ‘ලංසුපතිනියෝ’ නිෂ්පාදක ප්‍රකට රංගන ශිල්පී සාරංග දිසාසේකර හා කළ සුහද කතාබහකි මේ.

රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔබ නිෂ්පාදනයට අත ගසනවා?

වසර 10කට වැඩි කාලයක් රංගන ක්ෂේත්‍රයේ තිබුණු අත්දැකීම් එක්ක හොඳ නිෂ්පාදනයකට දායක වෙන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා හිතේ කාලයක් තිස්සේ තැන්පත් වෙලා තිබුණු අදහසක් තමා මේ මල්ඵල ගැන්විලා තියෙන්නේ. හැමදාම මම කල්පනා කරපු දෙයක් මේ. ඒ ක්ෂේත්‍රයේම සිටින කෙනෙක් ක්ෂේත්‍රය ඇතුළේ තිබෙන අඩු ලුහුඬුකම් හරියටම හඳුනගෙන මනා දැනුමකින් යුතුව යම්කිසි නිර්මාණයක් කරනවා නම් එය වඩා සාර්ථක වෙයි කියලා හිතලා තිබුණා. ඒ අනුව මම හිතනවා ඉදිරියේදීත් පිටින් ඉන්න කෙනෙකුට වඩා ක්ෂේත්‍රය ඇතුළෙම ඉන්න අයගෙන් හොඳ නිර්මාණ බිහිවෙයි කියලා. ඒ අනුව කාලයක් තිස්සේ මම හිතට වදින පිටපතක් ලැබෙන තුරු බලන් හිටියා.

නිෂ්පාදන කාර්යයට ඔබ පරිණතයි කියලා හිතනවද?

නැහැ. කොහෙත්ම නැහැ. නිෂ්පාදනය කියන්නෙ ලොකු කාර්යභාරයක්. ඇත්තටම ඒක ලොකු පීඩනයක්. මම හිතනවා ඒක දරාගන්න තරම් මම පරිණත මදි කියලා.

ඔබ නිෂ්පාදනය කියන කාර්ය භාරය හඳුනා ගෙන තිබෙන්නෙ කොහොමද?

නිෂ්පාදන කාර්ය කියන්නෙත් ලංකාව දෙස බලනවිට සිතන තරම් පහසු කාර්යයක් නොවේ. ප්‍රධානම ගැටලුව තමා නිෂ්පාදනයට යොදවන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම. ඒ නිසා හොඳ නිර්මාණයක් කිරීමේදී එහි ගුණාත්මක බව ඉහළින්ම රඳවා ගැනීමට අපහසු වනවා. අද වනවිට පෙරට වඩා ප්‍රේක්ෂකයෝ ලෝකයේ බිහිවන නිර්මාණ නිතර නරඹනවා. එය U tube, DVD වෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ට ලෝකයේ බිහිවන නිර්මාණ බැලීමේ පහසුකම් තිබෙනවා. එවිට ප්‍රේක්ෂකයෝ අප රටේ බිහිවන නිර්මාණ ලෝකයේ වෙනත් රටවල නිර්මාණ සමඟ සසඳනවා. එවිට ලංකාව තුළ හොඳ නිර්මාණ බිහි නොවුනම ඔවුන්ට ලොකු අසාධාරණයක් සිදුවෙනවා කියා මම සිතනවා. ‍

මේ නිසා මම යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා රාජ්‍ය මට්ටමෙන් නිෂ්පාදක වරුන්ට නිෂ්පාදනය සඳහා ප්‍රතිපාදනයක් හොඳ නිර්මාණයක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඉදිරියේ දී හොඳ නිර්මාණ බිහිවෙයි කියලා. දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න කලාකරුවන්ට පවා මං යෝජනාවක් කරනවා තමන්ගේ ක්ෂේත්‍රය වෙනුවෙන් එහෙම යෝජනාවක් කරන ලෙස. එය රාජ්‍ය නාලිකාවලින් ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණවලට පමණක් හෝ වෙනවා නම් ගැටලුවක් නැහැ.

ඔබ රංගන ශිල්පියෙක්. විවිධ චරිතවල ඔබ යෙදිලා ති‍යෙනවා. මේ රංගනය කියන කාර්යය ඔබ හඳුනාගෙන තිබෙන්නේ කොහොමද?

තමන් කියන චරිතයෙන් වියුක්ත වෙලා වෙනත් කෙනෙකුගේ මානසික මට්ටමකට ඇතුල්වෙන්න කෙනෙකුව පොළඹවන මෙවලමක්. මම ඒක බොහොම ආසාවෙන් කරන දෙයක්. මම ක්ෂේත්‍ර කීපයක නියැළිලා හිටියත් රංගනය තමා නොනවත්වා ඉදිරියටම කරගෙන යන්න කැමැත්තෙන් ආශාවෙන් ඉන්නේ. කුඩා කාලයේ ඉඳන් ගුවන්විදුලි හඬකැවීමේ ශිල්පියෙක් විදිහටත් මම ආශාවෙන් වැඩ කළා. ඒත් අද ඒ සියල්ල අභිබවා මම රංගනයට මගේ ජීවිතේ වැඩි ඉඩක් වෙන් කරලා තියනවා.

‘ලංසුපතිනියෝ’ අධ්‍යක්ෂ තුසිත අනුරාධ නවක අධ්‍යක්ෂකවරයෙක්. අපි ඔහුව මුලින් හඳුනාගත්තේ කැමරා ශිල්පියෙක් ලෙසට. ඔබේ පළමු නිෂ්පාදනයට අධ්‍යක්ෂවරයා ලෙස තෝරා ගන්නවා?

තුසිත අනුරාධ කියන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ කැමරා ශිල්පියෙක් විදිහට මම ඔහුව හඳුනා ගත්තේ. මට මුලින්ම වුවමනා වෙලා තිබුණේ ශිවගුරුනාදන්ව මේ නිර්මාණයට දායක කරගන්න. නමුත් ඔහුට තිබුණු කාර්ය බහුලත්වයත් එක්ක මට ඒක කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම ඊළඟට ගන්න විකල්පය තමා ශිවගුරුනාදන් මහත්මයාගේ රිද්මය තිබෙන තුසිතව තෝරා ගන්න එක. ඇත්තටම අධ්‍යක්ෂණයට ශිවගුරුනාදන් සම්බන්ධ නොවුණට ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් ගොඩක් වටිනවා. ඒ ආභාෂය තුසිතගේ වැඩ ඇතුළෙත් තිබෙනවා. එතනදී ඔහු කැමරා ශිල්පියෙක් වුණ නිසා මට ලොකු පහසුවක් වුණා. ඔහුගේ මම දුටු සුවිශේෂී දෙයක් තමා චරිත අධ්‍යක්ෂණයටත් ඔහු තුළ විශේෂ දක්ෂතාවයක් තිබෙන බව. මේ නිසා මා ඔහු ගැන තෘප්තිමත්.

ඔබේ ‘ලංසුපතිනියෝ’ට රංගන ශිල්පීන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද?

මෙහිදී මම හිතුවේ ප්‍රේක්ෂකයො නිතර දකින චරිතවලට වඩා වෙනස් චරිතයක් කිරීමට අවස්ථාවක් දෙන්න ඕන කියලා. මම තෝරා ගත්ත නළු නිළියන්ට, එහිදී මගේ පරපුරේ නළු නිළියන්ට වැඩි අවස්ථාවක් දුන්නා. ඔවුන් දැඩි කැපකිරීමක් කරලා විශාල සහයෝගයක් ලබා දෙනවා. ප්‍රේක්ෂකයෝ නිතර දකිනවාට වඩා වෙනස් චරිත ටිකක් ඉදිරියේ දැක බලා ගන්න හැකි වේවි. මගේ පරපුරෙන් එහාට ගිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන මල්කාන්ති ජයසිංහ මහත්මිය මෙම නාට්‍යයේදී වෙනස්ම චරිතයක් කරනවා. ඒ වගේම මගේ පරපුරේ සමකාලීනයන් වන දිනක්ෂි, ආශා, තිසුරි, සම්පත් යන ශිල්පීන්ගෙනුත් වෙනස්ම චරිත ටිකක් දකින්නට හැකිවේවි. මෙහි මගේ රංගනය පවා වෙනස් චරිතයක්.

ලංසුපතිනියෝ තුළින් ඔබ සමාජගත කරන්න හදන්නේ කුමක්ද?

කාන්තාව කියන චරිතයට සාධාරණයක් කරන්න තමා උත්සාහ කරන්නේ. සමාජයේ නොයෙක් කම්කටොලු බාධක අසාධාරණවලට ලක්වන්නේ කාන්තාවන්. ඇය යම් ස්ථානයකට යම් කාර්යයක් කරගන්න ගියහම පීඩාවට ලක්වනවා.

පවුල් ජීවිත ඇතුළේ පීඩාවට ලක්වෙනවා. ඒ කාන්තාව ගැන තමා මෙයින් කතා වන්නේ. එමගින් ඔවුන්ටම ඔවුන්ව හඳුනාගැනීම පහසු‍වනවා. මේ දිනවල විකාශනය වන සමහර නාට්‍යවල පොළොවේ පයගහලා නැති චරිත පවා හමුවන කාලයක, මේ නාට්‍යයේ සියලු චරිත පොළොවේ පය ගහලා ඉන්න චරිත. ඉබේ පහළවුණ ඕපපාතික චරිත නෙමේ. මෙහි චරිතවලින් නිතර තමන්ගේ ජීවිතයට බද්ධවුණු භාර්යාවන්ට, සමාජය තුළ වරදින්න පුළුවන් තැන් මෙන්ම නොයෙක් සමාජයේ හමුවුණ අකටයුතුකම් පවුල් ජීවිතවලට වන හානිය ගැන දැනුවත්භාවයක් ලබාදෙන්න උත්සාහ කරනවා.

*මෙහි සංගීතය පවා වෙනස් හැඩයක් ගෙන තිබෙනවා ?

විකාශය වුණු මුල් කොටස්වල සංගීතය ගැන ගොඩක් අය කතා කරනවා. එහි වෙනසක් කරලා තිබෙනවා නේද කියලා? මට මෙම නාට්‍යයේ නිෂ්පාදනයෙන් රංගනයෙන් වගේම ගායනයෙන්ද දායක වෙන්න ලැබුණා. මෙහි තේමා ගීතය ගායනා කරන්නෙත් මා විසින්මයි. බොහෝ අය කිව්වා තේමා ගීතය ඇසෙන විටම නැවතී බලන්න හිතෙන බවක් ති‍යනවා කියලා. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයාත් තරුණ දක්ෂ සංගීතඥයෙක්. ඔහු නමින් අමිත් ගුරු. මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වයත් අති විශාලයි. තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය චරිත් අබේසිංහ. තිවංක උඩගෙද‍රගේ සංස්කරණයෙන් බොහෝ කැපකිරීමක් වුණා.

*ලංසුපතිනියෝ විකුණා ගැනීමේදී ඇතිවුණ ගැටලු?

නිර්මාණයක් කොතරම් හොඳින් නිම කරගත්තත් අවසානයේ නාලිකාවක විකාශනයට දීමේදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවනවා. ඒත් මා වසර ගණනාවක සිට විවිධ ක්ෂේත්‍රවල කලා ලෝකයේ නිරතවීම නිසා එකිනෙකා දැන හඳුනා ගැනීම මත ඉක්මනින් විකුණා ගැනීමට හැකිවුණා. ඒ සඳහා වාසනාවන්ත වුණා.

*ඔබ මෙගා නාට්‍යවල පවා රංගනයෙන් දායක වුණ ශිල්පියෙක්. ඔබ මේ නාට්‍ය ගැන දරන මතය.

මෙගා කියන නම නාට්‍යවලට ආවේ කොතනින්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. ඒ නාට්‍ය ආරම්භ වුණ සංක්‍රාන්ති සමයේ තමා මමත් ක්ෂේත්‍රයට ආවේ. එතනදී අපි බලන්න ඕන නාට්‍යයේ කොටස් ගණන නෙමේ. නාට්‍යයේ පිටපත කෙතරම් ප්‍රබලද කියන කාරණාව. මේ මෙගා හෙවත් දීර්ඝ නාට්‍යය කලාව ලෝකෙට අලුත් එකක් නමේ. අපේ අම්මලා පොඩි කාලෙත් තිබිලා තියනවා. ලෝක‍ය දෙස බැලුවොත් එංගලන්තයේ රූපවාහිනී නාලිකාවල විකාශනය වන මර්ටිනාස්, කෝකේෂන් ෂීට් වගේ නාට්‍ය වසර 20, 30 විකාශනය වනවා. එහිදී අපි එහි ගුණාත්මක බවයි වටහා ගත යුත්තේ.

(විශේෂ ස්තුතිය- ස්වාධීන රූපවාහිනී ආයතනයේ ඉන්ද්‍රසිරි සුරවීර සහ පියල් වීරසිංහට)

සංවාදය

සුරංජා සරෝජිනී පතිරණ

 

නව අදහස දක්වන්න