‘හැදෙන රටක්වැඩෙන ගසක්’ජාතික රුක් රෝපණ වැඩසටහන අද ඇරැඹේ | දිනමිණ

‘හැදෙන රටක්වැඩෙන ගසක්’ජාතික රුක් රෝපණ වැඩසටහන අද ඇරැඹේ

හැදෙන රටක් -වැඩෙන ගසක්' යන්න තේමා කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩ සටහන අද (1) පෙරවරු 9.49 යෙදී ඇති සුබ මොහොතින් අනුරාධපුර මහමෙවුනා උයනේදී ආරම්භ කෙරේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ද සිය ගෙවත්තේ පැල සිටුවන අතර ඊට සමඟාමීව සමස්ත රට පුරා ද පැල සිටුවීම සිදු කෙරේ.

එදින සිට සතියක් ජාතික රුක් රෝපණ සතිය ලෙස නම්කර ඇති අතර ශ්‍රී ලංකාව සතු සියයට 29 ක් වූ වනගහනය ඉදිරි පස් වසර ඇතුළත සියයට 32ක් දක්වා ඉහළ දැමීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රට පුරා ගස් දස ලක්ෂයක් සිටුවීම මෙහි අරමුණ වී තිබේ.

මීට සමඟාමීව දිවයින පුරා මෙම වැඩසටහන දියත් කරන අතර මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ, ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති රෝෂාන් රණසිංහ මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්වල සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා අවශ්‍ය පැල වර්ග වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, වනජීවී ආරක්ෂණ දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන රාජ්‍ය ආයතන මඟින් ලබාගත හැකිය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න