වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ ඊට වගකියන ආයතනවලින් | දිනමිණ

වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ ඊට වගකියන ආයතනවලින්

නුවන් කොඩිකාර

කිසිම ඇඟිලි ගැසීමක් - බලපෑමක් නෑ: රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ජනාධිපති මන්දිරයෙන් හෝ අරලියහ මන්දිරයෙන් මෙහෙයවනු ලබන ෆයිල් හෝ පොලිස් අධිකාරිවරුන් නොමැති බවත් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ ඊට වගකියන ආයතනවලින් බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

පසුගියදා අත්අඩංගුවට ගත් කිසිදු පුද්ගලයකු වත්මන් රජයට කිසිඳු දේශපාලන වශයෙන් වැදගත්කමක් ඇති පුද්ගලයන් නොවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසි දිසි මැඳුරේ ඊයේ (31) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ඕනෑම පරීක්ෂණයක් එය පැවැත්විය යුතු නිසි ක්‍රියාපටිපාටියට පැවැත්වීමට ඉඩ ලබා දිය යුතු බවත් එයට ඇඟිලි ගැසීමක් හෝ කිසිඳු බලපෑමක් කිරීමට රජය සූදානම් නොමැති බවත් ඒ මහතා කීය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රජය දුන් බදු සහනවල ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ කියලා පසුගිය දවස්වල පුවත්පත් හා මධ්‍යවල නිතර නිතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ චෝදනා කර තිබුණා. ඒ අයට අපි කියන්න කැමැතියි මේ ජනවාරි මාසයේ සිට ජනතාවට අනිවාර්යෙන්ම එම ප්‍රතිලාභ ලැබෙනවා. මේ වන විටත් සමාගම් කිහිපයක් ප්‍රකාශ කර තිබෙනවා. ජනවාරි මාසයේ සිට ඔවුන් ජනතාවට බදු අඩු වීමේ වාසිය ලබා දෙනවා කියලා. අපේ රටේ ටයර් සම්බන්ධ නමක් දිනාගෙන තිබෙන සියැට් ආයතනය මේ වන විට තීරණය කර තිබෙනවා බදු සහනය ලබාදෙන්න. ඒ අනුව සියලුම වාහනවල මේ වාසිය හිමි වෙනවා.

රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියා කිව්වා මේ රජය බදු බර අඩු කරනවා කියලා කළේ ගෙදරට ගෙනියන බඩු මල්ලේ බර අඩු කරපු එකයි කියා. අපේ රජය බලයට පත්වෙලා කෙටිම කාලයක් තුළ විශාල වශයෙන් බදු බර අඩු කළා. ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ ඉදිරි කාලයේදී. ඒ පිළිබඳ අපි හොඳ අවධානයෙන් ඉන්නවා. අනික මේ රජයට ජනතාව බලය ලබාදුන්නේ එළවළු මල්ලටවත්, සහල් ටිකකටවත් නොවෙයි. රට තිබුණ අනාරක්ෂිත තත්ත්වයෙන් මුදාගෙන ආර්ථික අතින් ශක්තිමත් කරන්න. මේ බඩුවල මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව වුණේ දැඩි වැසි තත්ත්වයක් ඇතිවීමයි. මෙය රජයකට පාලනය කරන්න බැහැ. මේ පිළිබඳව මම කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගත්තා. ඒ අනුව පසුගිය වසරේ තිබුණ වැසි වැටීමේ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේ කාලගුණ විපර්යාසයක් මේ කාලය තුළ සිදුවෙලා තිබෙනවා. ඒ කොහොම වුණත් රජයක් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න වටපිටාවක් නිර්මාණය කිරීමට.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ආර්ථික මධ්‍යස්ථානවලට ගිහින් කියනවා මේ අනූ අටට විකුණන හාල් කන්න පුළුවන්ද කියලා. හැබැයි වෙළෙන්දෝ කිව්වා ඒ අය කොහොම කිව්වත් අපි විකුණන්නේ හොඳ සහල් කියලා. ජනතාවට නුසුදුසු සහල් විකුණන්න රජය කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ. මෙලෙස වැරදි මත යවද්දි සහල් විකුණ ගන්න බැහැ කියලා ඒ වෙළෙන්දෝ චෝදනා කරනවා.

හිඟුරක්ගොඩ ගබඩාවල තිබිලා මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් සත්ව ආහාර සඳහා විකුණනවා කියා නාමල් කරුණාරත්න ගබඩාවට ඇතුළු වෙලා පෙන්නුවා. ඒ සහල් ගෙනාවේ කවුද, නුසුදුසු තත්ත්වයට එනකම් ගබඩාවල තියා ගත්තේ කවුද. ඒ පිළිබඳව සොයන්න අපි පරීක්ෂණ ආරම්භ කළා. මේ තියෙන්නේ 2017 ගෙනා සහල්. මේ දේවල් ජනතාවට නුදුන්නේ පිටරටින් සහල් ගෙනත් තමන්ගේ මඩිය තරකර ගන්න ඕනෑ නිසා. එතැන තිබුණා කිලෝ ලක්ෂ තුන හමාරක්. මේ සියල්ල එළඹෙන පෙබරවාරි මාසය වෙනකොට කල් ඉකුත් වෙනවා. අපිට බැහැ ඒ සහල් ජනතාවගේ පරිභෝජනයට ලබාදෙන්න. මේ අපරාධය කළේ එක්සත් ජාතික පක්ෂය. මේ අය මාධ්‍ය සාකච්ඡා තියන්න කලින් හොයන්න ඕනෑ මේ දේවල් ගෙන්නුවේ කවුද කියලා. මෙහි වගකීම තියෙද්දි තමයි මාධ්‍ය සාකච්ඡා තියලා බොරු ප්‍රචාර කළේ.

පසුගිය කෙටි කාලය තුළදි සුළු අපනයන බෝගවල තොග මිල ඉහළ ගිහින් තිබෙන එක ගැන මේ අය කතා කළේ නැහැ. අපි මෙරට හදන්න පුළුවන් සුළු අපනයන බෝග වර්ග පිට රටින් ගේන එක නතර කිරීමත් එක්ක සුළු අපනයන බෝග මිල ඉහළ ගියා. මේ වෙනකොට එච්-2 කියන කුරුඳු වර්ගය රුපියල් 1700 දක්වා ඉහළ ගිහින්. හීන් කුරුඳු රුපියල් 2000 දක්වා ඉහළ ගිහින්, ගම්මිරිස් රුපියල් හත් සියයක් දක්වා ඉහළ ගිහින්, කරුංකා රුපියල් දහස දක්වාත්, කරාබු නැටි, ගොරකා, රබර් සහ අමුදළු තේ මිලත් ඉහළ ගිහින් තිබෙනවා.

ජාත්‍යන්තර සම්බන්ධතා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා-

පසුගිය පුවත්පත් සාකච්ඡාවේදි ජීනිවා සැසි වාරයේදී අපි ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවම මම පැහැදිලිව කිව්වා .සංශෝධනයන් ගැන මෙතෙක් කතා කර නැහැ. අපි ඒ ගිවිසුම් සහ රටතුළ මතු වී තිබෙන තත්ත්වය ගැන අධ්‍යනය කරමින් ඉන්නවා කියන එක පමණයි. මම කිව්වේ සංශෝධන ගැන නෙවෙයි අධ්‍යනයන් සිදු කරනවා කියපු එක විතරයි.

ඊළඟ කාරණය තමයි ස්විස්ටර්ලන්ත කාර්යාලයේ සේවය කළ නිලධාරීනිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පත්වෙලා. වෛද්‍ය වාර්තා අරන් දැඩි කොන්දේසි මත ඇයට ඇප ලබා දුන්නා. එය අපරාධ නඩු නීති සංග්‍රහයට අනුවයි සිදු වුණේ. අපි රජයක් විදියට මෙවැනි සිදුවීම්වලදි අධිකරණයට හෝ පොලිසියට මැදිහත් වෙන්නේ නැහැ කියන එක ඔප්පු වී තිබෙනවා. රාජිත සේනාරත්න මහතාටත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙන්නේ. රජයක් විදියට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නත් නීතියේ ආධිපත්‍යයට රජයක් විදියට මැදිහත් නොවන බව මින් මනාප පැහැදිලි වී තිබෙනවා.

 

නව අදහස දක්වන්න