කරච්චලේ ඉවරයි! | දිනමිණ

කරච්චලේ ඉවරයි!

ඊයේ සිට රටේ පොදු ජනතාවට තවත් සහනයක් ලැබී තිබේ. එය හැඳින්විය හැක්කේ සාමාන්‍ය මගී ජනයාට සැනසිල්ලේ බස් රථයක ගමන් කිරීමට අවස්ථාව ලබාදීමක් හැටියට ය. දුර ගමනක් ගිය ද, කෙටි ගමනක් ගිය ද මේ රටේ සාමාන්‍ය මිනිසාට බහුලව භාවිත කිරීමට සිදුවන්නේ පෞද්ගලික බස් රථයකි. එම බස් රථයේ ගමන් කරන කෙනෙකුට හිරිහැර කිහිපයකට මුහුණදීමට සිදුවේ. එක; කොන්දොස්තරගේ දෝස්මුර ඉවසා සිටිය යුතුය. දෙක; කන පැලෙන තරමට අධික ශබ්දයෙන් වාදනය වන අශීලාචාර සංගීතය ඉවසා සිටිය යුතු ය. කොන්දොස්තර හැරෙන්නට රියැදුරා ද බසය පද්දමින්, අධික වේගයෙන් ධාවනය කරමින් හා නිතර නළාව හඬවමින් මගියා හෙම්බත් කරයි. දුප්පත් මගියා අසරණ ය.

ජනවාරි පළමුවනදා සිට මගී ප්‍රවාහන බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය වාදනය කිරීම තහනම් ය. එලෙස වාදනය කරන හිතුවක්කාර කොන්දොස්තරවරයකු සිටිත් නම්; වහා ම පොලිසියට දැනුම් දී ඔහු අත්අඩංගුවට ගත යුතුය. ඊට අදාළ දුරකථන අංකයක් ද ප්‍රසිද්ධියට පත්කොට තිබේ. ඉහත ප්‍රවෘත්තිය දැනගත් මගී ජනතාව සතුටින් ඉපිලී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. කෙනෙකුගේ මතය වූයේ සැනසිල්ලේ ගමනක් යා හැකි බව ය. තව කෙනෙකුගේ මතය වූයේ කංකරච්චලය දැන් ඉතින් අවසන් බවය. තවත් කෙනෙකුගේ මතය වූයේ බස් රථවල කුමන හෝ සංගීතයක් වාදනය කිරීමේ අයිතියක් නැති බව ය. මගියකු බස් රථයකට ගොඩවන්නේ අත්‍යවශ්‍ය ගමනක් යෑමට මිස; විනෝදවීමට නොවන බව ද ඔව්හු පෙන්වා දෙති. එහි ද ඇත්තක් තිබේ.

රජයේ තීරණය වී ඇත්තේ සුභාවිත ගීත ඇතුළත් සී.ඩී. තැටියක් සෑම බස් රථයකට ම ලබාදීම ය. ජනවාරි පළමුවනදා සංකේතාත්මකව සී.ඩී. තැටි දහසක් ලබාදෙන බව ද කලින් දන්වා තිබිණි. එම ගීත තෝරනු ලැබූ පඬිවරයා හෝ පණ්ඩිත මණ්ඩලය හෝ අප නොදන්නා’ මුත් කනට මිහිරි සන්සුන් මනසකින් ශ්‍රවණය කළ හැකි ගීත හා අනුවාදන එහි අඩංගු වනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. මීට පෙර ඇතැම් බස් රථ තුළ වාදනය වූයේ මවට හා දුවට එකට සිට ශ්‍රවණය කළ නො හැකි කුණුහරුප ගීත යැයි කිව හැකි ය. රටේ වැදගත් පුද්ගලයන් බස් රථ තුළට පිවිස එයින් බැස ගිය අවස්ථා තිබේ. ඒ ඝෝෂාකාරී කුණුහරුප ගීත අසන්නට බැරිකම නිසා ය. රජය ගෙන ඇති ඉහත තීන්දුව ගැන බොහෝ දෙනා පැසසුම් කරති.

ශබ්ද දූෂණය නීතියෙන් තහනම් කළ හැකි ය. මිනිසාගේ ශ්‍රවණේද්‍රියට ඔරොත්තු දෙන ඩෙසිබල් ගණනක් තිබේ. එය ඉක්මවා ශබ්දය නිකුත් වනවිට එය කරදරයකි. ඇතැම්විට මගියා එයින් රෝගී තත්ත්වයකට පත්විය හැකි ය. නිතර පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන සාමාන්‍ය ජනතාවගේ මානසික තත්ත්වය අවුල් යැයි කෙනකු තර්ක කළහොත්; එය පහසුවෙන් බැහැර කළ නො හැකි ය. එයට ප්‍රධාන හේතුව ඝෝෂාකාරී සංගීතය යැයි කිව හැකි ය. රියැදුරන් හෝ කොන්දොස්තරවරුන් හෝ ශබ්ද දූෂණය ගැන දන්නේ නැත. දැනගත්ත ද ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නැත. සාමාන්‍ය මගියාට සිදුවී ඇත්තේ බස් රථයක වාදනය වන ඕනෑ ම කුණුහරුපයක් ශ්‍රවණය කරමින් ගමන් කිරීමට ය. ඒවා ගැන ප්‍රශ්න කළහොත්; අපහාසයකුත් විඳගෙන බසයෙන් බැසයෑමට සිදුවනු ඇත.

මේ තත්ත්වය පෞද්ගලික බස් රථ තුළ පමණක් නො ව; ලංගම බස් රථ තුළ පවා පවතී. ඇතැම් බස් රථ තුළ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරනු ලැබේ. බොහෝවිට ඒවාට පාදක වී ඇත්තේ එළිමහන් සංගීත සංදර්ශන යැයි කිව හැකි ය. එම සංදර්ශනවල ඇති හූ කීම, අඩ නිරුවත් නැටුම් හා නිවේදකයන්ගේ කඨෝර විස්තර ප්‍රචාර සියල්ල මගියා අසා සිටිය යුතු ය. ඇතැම් බස් රථ තුළ රාත්‍රී සමාජ ශාලා දර්ශන ද ප්‍රදර්ශනය කරනු ලැබේ. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් බස් රථ තුළ නිල් චිත්‍රපට පෙන්වීමට ද ඉඩ තිබේ. පෞද්ගලික බස් රථවල සේවයේ නියුතු වැඩි දෙනා ළඟ විනයගරුකභාවයක් නැත. සමහරුන් ශීලාචාර ලෙස කතා කිරීමට දන්නේ ද නැත. සමහරුන්ගේ හැසිරීම දෙස බලනවිට පෙනී යන්නේ ඔවුන් මැරයන් බව ය. මෙබඳු අය ලවා සුභාවිත ගීතයක් වාදනය කරගත හැකි නම්; එය විශාල ජයග්‍රහණයකි.

සංගීත කලාව පවත්වාගෙන යා යුත්තේ මිනිස් සිත් පහන්කොට යහපත් දේවල් සඳහා උත්තේජනයක් ලබාදීමට ය. උසස් රසවින්දනය මගින් මිනිසාගේ විචාර බුද්ධිය පුළුල් වන බවත්; ජීවිත පරිඥානය වර්ධනය වන බවත් ප්‍රකාශ වී තිබේ. වික්ටර් හාරා සංගීතය භාවිත කළේ පොදු ජනයාගේ විමුක්තිය උදෙසා ය. අපට එබඳු සංගීතයක් නැත. එහෙත් මිනිස් සිත් පහන් කරන නිර්මාණ අපට තිබේ. ඒවාට වඩා ජනප්‍රිය තලයේ පවතින්නේ හරසුන් බයිලා යැයි කිව හැකි ය. බස්කාරයන් ද ඊට වගකිව යුතු ය. අද පවතින බො‍හෝ ගීතවල ශබ්ද මිස අර්ථවත් පදමාලා නැත. සුන්දර ගී තනු ද නැත. හැම ගීතයක්ම එක වගේ ය. ඒවා ශ්‍රවණය කරන්නෝ සිත් පිත් නැති යන්ත්‍ර බවට පත්වෙති.

කුමන කලාවකට වුව අධීක්ෂණයක් හා කිසියම් පාලනයක් තිබීම වැදගත් ය. කලාව අයාලේ ගිය විට එහි ප්‍රතිඵලය හානිකරවීමට ඉඩ තිබේ. චීනය වැනි රටවල් එම රටවල කලා නිර්මාණ සඳහා නියාමනයක් පවත්වාගෙන යයි. ඒ අනුව ජනතාවගේ යහපතට මිස අයහපතට කලාව භාවිත කිරීමේ හැකියාවක් නැත. බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය නැවැත්වීම කොයි අතින් බැලූව ද යහපත් තීරණයකි. දුම්රිය මැදිරි තුළ සිඟමන් යැදීම නැවැත්වීම ද එබඳු යහපත් තීරණයකි. මගියාට ඇති අයිතිය මේ තීරණ දෙක මඟින් ආරක්ෂා වෙයි.

නව අදහස දක්වන්න