ද. ආසියා ශූරයන්ට නව වසරේ රු. මි. 90ක් | දිනමිණ

ද. ආසියා ශූරයන්ට නව වසරේ රු. මි. 90ක්

ප්‍රින්ස් ගුණසේකර

නේපාලයේදී ශ්‍රී ලංකා ධජය ඉහළට එසැවූ  මලල ක්‍රීඩා කණ්ඩායමට ලක්ෂ 125ක්:

 

වැඩිම රන් දිනූ මැතිව්ගේ තෑගි මුදල ලක්ෂ 32යි

නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ධජය ඉහළට එසැවූ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 90ක තෑගි මුදල් මේ මස 16වැනි දින ප්‍රදානය කරයි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක්, රිදී පදක්කමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක් හා ලෝකඩ පදක්කමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක් පිරිනමන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩි. එස් රුවන්චන්ද්‍ර මහතා ‘දිනමිණ’ට පැවැසීය.

දකුණු ආසියා ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තෑගි මුදල් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ආරාධනාව පරිදි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් ප්‍රදානය කිරීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 15ක් දිනාගත් අතර රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් හෙයින් එම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ලක්ෂ 125ක පමණ මුදලක් බෙදී යයි. මලල ක්‍රීඩාවට පසුව වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ පිහිනුම් කණ්ඩායම වන අතර ඔවුන් රන් පදක්කම් 7ක් සමග රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්වුහ. එබැවින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ලක්ෂ 105ක් පමණ බෙදී යනු ඇත.

දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා ලෙස පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ ඉදිරියෙන්ම සිටින අතර ඔහු මෙවර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 7ක් හිමිකර ගත්තේය. ඒ අනුව ඔහු ඒකළ ඉසව්වලින් දිනාගත් පදක්කම් 6ට හා සහාය පිහිනුම් ඉසව්වෙන් දිනාගත් රන් පදක්කම වෙනුවෙන් රුපියල් ලක්ෂ 32ක පමණ මුදලක් හිමිවේ. මැතිව් වසර 2016දී ගුවහාති දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී මේ ආකාරයෙන්ම රන් පදක්කම් 7ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට සමත්වූ අතර එහිදී මේ හා සමාන මුදල් ත්‍යාගයක් ප්‍රදානය විය.

මේ ක්‍රීඩා උළෙලේදී ටයිකොන්ඩෝ රන් පදක්කම් 4ක්, මල්ලවපොර රන් පදක්කම් 2ක්, බර ඉසිලීම රන් පදක්කම් 2ක්, වුෂූ රන් පදක්කම් 2ක්, බීච් වොලිබොල් රන් පදක්කම් 2ක් හා ගොල්ෆ් රන්පදක්කම් 2ක් දිනාගත් අතර ජූඩෝ, බැඩ්මින්ටන්, බොක්සිං හා තුන්ප්‍රයාම යන ක්‍රීඩාවලදී රන් පදක්කම බැගින් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 564ක් සහභාගීවූ අතර රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් හා ලෝකඩ පදක්කම් 128ක් සමග මුලු පදක්කම් 251ක් දිනා ගැනීමට හැකිවිය. මෙය දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වන අතර 2016 ගුවහාති ක්‍රීඩා උළෙලේදී දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 186කි. ඊට රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 63ක් සහ ලෝකඩ පදක්කම් 98ක් එක්විය.එමෙන්ම 1991 කොළඹදී පැවැති දකුණුු ආසියානු ක්‍රීඩා උළෙලින් පසු ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකර ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව මෙවර වාර්තා විය. 1991 වර්ෂයේ 5 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 44ක් දිනාගත් අතර රිදී 34ක් හා ලෝකඩ 40ක් සමඟ සමස්ත පදක්කම් 118ක් දිනා ගැනීමට සමත් විය.

නව අදහස දක්වන්න