කෝලි නොම්මර එකට | දිනමිණ

කෝලි නොම්මර එකට

ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් දෙවැනි තැනට ඇද දමා වසර 2019 අවසානයේ ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ඉන්දියාවේ විරාත් කෝලි සමත්විය.

වසර 2019 දෙසැම්බර් 31 වැනිදා නිකුත් කළ අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ ගනිමින් කෝලි ප්‍රසාද ලකුණු 928ක් අත්කර ගනිද්දි ස්ටීව් ස්මිත් ලබා සිටියේ ප්‍රසාද ලකුණු 911ක් පමණි. ටෙස්ට් පිතිකරුවන් අතර තුන්වැනි තැන හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 822ක් ලැබූ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්ය. මේ අතර පසුගිය වසරේ ටෙස්ට් පිටියේ වඩාත්ම කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වී සිටින ඔස්ට්‍රේලියාවේ මානස් ලබුස්චේන් සිවුවැනි ස්ථානයට පත්වූයේ ඒ වසරේදි ටෙස්ට් තරග 11කදි ලකුණු 1085ක් රැස් කරමිනි.

ඉන්දියාවේ තවත් විශිෂ්ට පිතිකරුවකු වන චේටස්වර් පුජාරා එම ලැයිස්තුවේ පස්වැනි තැන අත්කර ගත්තේ ප්‍රසාද ලකුණු 791ක් ලබමිනි. ඉන්දියාවේහිම අජින්ක්‍යා රහානේ ප්‍රසාද ලකුණු 759ක් ලබා 7 වැනි තැන අත්කර ගත්තේය.

මේ අතර ගෙවුණු වසරේ ජගත් ටෙස්ට් පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවේ පන්දුවෙන් දස්කම් පෑ පැට් කමින්ස් සමත්විය. ඔහු ප්‍රසාද ලකුණු 902ක් අත්කර ගත් අතර නවසීලන්තයේ නීල් වැග්නර් ප්‍රසාද ලකුණු 859ක් ලබා දෙවැනි තැනට පත්විය. තුන්වැනි ස්ථානය හිමිවූයේ ප්‍රසාද ලකුණු 832ක් රැස් කළ දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩාය.

එම ලැයිස්තුවේ 6 වැනි තැනට පත්වීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වී ඇත්තේ ප්‍රසාද ලකුණු 794කට හිමිකම් කියමිනි. ප්‍රසාද ලකුණු 772ක් ලබා රවිචන්ද්‍රන් අශ්වින් 9වැනි තැනට පත්වූ අතර මොහොමඩ් සාමි ප්‍රසාද ලකුණු 771ක් ලබා 10 වැනි තැන අත්කර ගත්තේය.

නව අදහස දක්වන්න