‘යුනිවර්සිටි කොලේජ්’ තුන්සීයක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ නව වසරේ ආරම්භ කරනවා | දිනමිණ

‘යුනිවර්සිටි කොලේජ්’ තුන්සීයක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ නව වසරේ ආරම්භ කරනවා

අනුර ප්‍රේමලාල්

 විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

ඉන්න උගතුන්ට රැකියා නැත්නම් තිබෙන රැකියාවලට උගතුන් නැත්නම් ප්‍රශ්නය අධ්‍යාපන ක්‍රමයේ:

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විශ්වවිද්‍යාල විද්‍යාතන (යුනිවර්සිටි කොලේජ්) තුන්සීයක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ නව වසරේ ආරම්භ කරන බවත් මේ වසර අවසන් වීමට පෙර එම ආයතන සීයක් පමණ පිහිටුවන්න බලාපොරොත්තු වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන, තාක්ෂණ , තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.රටේ නායකත්වය හා ජාතියේ නායකත්වය භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විස්සයි විස්ස වැඩකරන වර්ෂයක් ලෙස (01) දින සිට පරිවර්තනය කරගැනීම සඳහා විවිධ ව්‍යාපෘති වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදි ‘ගෝඨාගේ අධ්‍යාපන විප්ලවය‘ මෙහිදි සුවිශේෂයි. අපේ රටේ දීර්ඝ කාලයක් පැවැති ප්‍රශ්නයක් වු අ.පො.ස. සාමාන්‍ය පෙළින් පසු අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉතාම ස්වල්ප ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන අතර අතිමහත් බහුතරයකට ජීවන අරගලයක යෙදෙන්න සිදුවෙනවා. එවැනි විකෘති අධ්‍යාපන ක්‍රමයක් පැවැති බව අපි කැමැති වුණත් නැතත් පිළිගත යුතුයි. ජාතික රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ වීමෙන් පසු පැවැති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වසරින් වසර ඊට ඇතුළත් කරගන්නේ දරුවන් ප්‍රමාණය වැඩිවුණා. ඒ ප්‍රමාණය වසරකට දැන් තිස්දහසක් පමණයි නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් පසු උපාධි පිරිනැමීමට. සීමිත ඉඩප්‍රස්ථාවක් ඇතිවීම කරන කොට අතිමහත් බහුතරයට තම යෞවනය එනම් වසර දාඅටක් දහනවයක් වන දරුවෙකුට අනාගතයක් නැති දරු පරම්පරාවක් බවට පත්වුණා. ඒ නිසා ඔවුන්ට ජීවිතයේ නිගමනයකට එන්න පුළුවන් වෙනවා. විභාගය සමත් ජීවිතය අසමත් අය කියලා. කුඩා කාලයේ සිට විභාගවලට පෙනිසිටලා විභාග සමත් වෙලා පහේ ශිෂ්‍යත්වය, අ.පො.ස.සාපෙළ සමත්වෙලා උසස් පෙළ සමත්වෙලා එම සහතික ලබාගෙන. හැබැයි ජීවනෝපායක් නැහැ. රැකියා අවස්ථාවක් නැහැ. තිබෙන රැකියාවට අවශ්‍ය උගතුන් බිහිවුණේ නැහැ. සේවා ව්‍යුක්තියේ අසමතුලිතභාවයක් කියා ආර්ථික විශේෂඥයන් හඳුන්වනවා. ඉන්න උගතුන්ට රැකියා නැත්නම් තිබෙන රැකියාවලට උගතුන් බිහිවන්නේ නැත්නම් ප්‍රශ්නය තිබෙන්නේ අධ්‍යාපන ක්‍රමයේයි.

මේ පිළිබඳ දීර්ඝ කාලයක් රටේ සාකච්ඡා වුණා . මීට වසර තිහකට පෙර 1989දී උසස් අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ ඒ.සි.එස්.හමීඩ් මහතා. මම එදා හැකි උස් හඬින් සංඛ්‍යා දත්ත පාර්ලිමේන්තුවේදි කියලා තියෙනවා. දරුවෝ විශාල ප්‍රමාණයක් උසස් පෙළට පෙනි සිටිනවා. ඉන් මෙතරම් සුළු ප්‍රමාණයයි විශ්ව විද්‍යාලයට වරම් ලැබෙන්නේ. සරසවි වරම් නොලැබෙන අතිමහත් බහුතරය තම මවුපියන්ට හා රටට බරක් වෙනවා. මේ ගැන දීර්ඝ කාලයක් සාකච්ඡා , සංවාද, විවාද පැවැත්වුණා. පසුව විද්වතුන්ගේ අදහස් අරගෙන ජනාධිපතිවරයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු වතාවට සඳහන් කළා අ.පො.ස. උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලබන සියලුම දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදෙනවා කියා. එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තමයි සඳහන් වුණේ.

මේක ඉතා අභියෝගාත්මක ප්‍රතිඥාවක්. මේ කාර්යභාර්ය නිල වශයෙන් ඉටු කිරීම සඳහා අදාළ විෂයභාර ඇමැති ලෙස මට පැවරිලා තියෙනවා. මම අභියෝගවලට ආදරය කරන මිනිසෙක් නිසා මීට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීමට කැමතියි. මෙවර අ.පො.ස. උසස්පෙළ විභාගයට දෙලක්ෂ අසුඑක් දහස් හත්සිය අසු හයක් පෙනී සිට තියෙනවා. එය විද්‍යා , කලා, වාණිජ්‍ය, තාක්ෂණ. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිට තිබෙනවා. එහිදි විශ්වවිද්‍යාල වරම් සඳහා අවම සුදුසුකම් ලැබී තියෙනවා. එක්ලක්ෂ අසුඑක්දහස් එකසිය විසි හයක්. ඉන් සම්ප්‍රදායික ලෙස තිස්දහසක් විශ්ව විද්‍යාලයට බඳවා ගත්තොත් එක්ලක්ෂ පනස් දහසක් දළ වශයෙන් 2020 වසරේදී අගාධය කරා යනවා. සාමාන්‍ය ක්‍රමය අනුව. මේවා වටිනා තරුණ ජීවිත හා ජාතික සම්පත්. මේ ක්‍රමය සෑම වසරකම සිදුවෙලා නැහැ. මීට පිළියම් ලබාදී නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දැන් මේක වෙනස් කර තියෙනවා. අපි මේ එක්ලක්ෂ පනස් දහසටම උසස් අධ්‍යාපනය ලබාදීමට අවස්ථාව ලබාදී තියෙනවා. ඒ සඳහා දේශීය හා විදේශීය විවිධ විද්වතුන් , විවිධ අධ්‍යාපන ආයතන විවිධ දරුවන්ට ආදරය කරන සත්පුරුෂයන් සමඟ ඇමැතිවරයා ලෙස මාසයක පමණ කාලයක් මමත් ,අමත්‍යාංශ ලේකම්වරයා හා උසස් නිලධාරිනුත් සාකච්ඡා, සම්මන්ත්‍රණ , වැඩමුළු සීයකට ආසන්න ප්‍රමාණයක් පවත්වලා තියෙනවා. අදත් මිනුම් දෙපාර්තමේන්තුව හා වනජීවි අංශ සමඟ සාකච්ඡා උසස් අධ්‍යාපන අමත්‍යාංශයේදි පැවැත්වූවා. ඒ තුළින් මේ ජාතික කාර්ය ඉටුකර ගැනීමට ප්‍රධාන ක්‍රමවේද කිහිපයක් හඳුනාගෙන තියෙනවා. ජාතික විශ්ව විද්‍යාල තුළ තිබෙන මානව හා භෞතික සම්පත් ඉතා ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කර ගැනීමෙන් මේ වර්ෂය තුළදී ප්‍රතිඵල ලබපු එක් ලක්ෂ අසුඑක්දහසෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය 25%කින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැඩිකිරීමට සැලසුම් සකස් කර තියෙනවා.

ඒ සඳහා විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින සියලු කුලපතිවරු සමඟ සාකච්ඡා කර මහා පරිමාණ පිරිවැය දරන්නේ නැතිව තිබෙන මානව සම්පත් හා භෞතික සම්පත් වඩා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගෙන ක්‍රියා කළොත් 25%කින් ශිෂ්‍ය සංඛ්‍යාව බඳවා ගත හැකිවෙනවා. දැනට බලය ලබා තිබෙන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ උපාධි හා පශ්චාත් උපාධි ප්‍රදානය කරන ආයතනවල ලාභ පරමාර්ථය කර නොගත් ව්‍යාපාරයක් නොවන කිසියම් අතිරික්තයක් ලැබුණත් එය දරුවන් වෙනුවෙන් ලබාදෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් නිශ්චිත ලෙස අනුමත කළ පාඨමාලා, වෘත්තීන්ට හා තාක්ෂණයන්ට වැඩි නැඹුරුවක් තියෙන පාඨමාලා , ඉතාම ඉහළින් යුතු විශ්ව විද්‍යාල ප්‍රමිතීන්ට අනුව ආචාර්ය මණ්ඩලයක් සිටින ඒ ගැන අඛණ්ඩ අධීක්ෂණයක් කර විශ්ව විද්‍යාල ආයතන, වරලත් චාර්ටඩ් ආයතන ,බලයලත් විශ්ව විද්‍යාල ලෙස අනුමත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රධාන ලක්ෂණය විය යුත්තේ රුපියල් බිලියන දහයකට වඩා ආයෝජනය කර තිබීමයි. වත්කම් , ඉඩකඩම්, දේශනාගාර,පරික්ෂණාගාර හා යන්ත්‍රසූත්‍ර යනාදිය තිබිය යුතුයි. ඒ සඳහා ලාභ පරමාර්ථ වෙන්න බැහැ. යුක්ති සාධාරණ ලෙස මුදලක් ලැබුවත් එය අධ්‍යාපනයේ පරමාර්ථය සඳහාම යෙදිය යුතුයි. එම වරලත් ආයතන ලබාදෙන කොන්දේසි අනුගමනය කළේ නැත්නම් වසර දෙකක් තුළ වරලත් කියන එක ඉවත් කරනවා. ඒ අනුව වරලත් චාර්ටඩ් විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ඉල්ලා තිබෙනවා.

සීයට සීයක් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් විශ්ව විද්‍යාල විද්‍යායතන ගෝඨාභය රාජපක්ෂ පාලනය අවසන් වනවිට සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් තුන්සීයක් පමණ වසර පහේ කාලපරිච්ඡේදයේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. එහිදි අපි බලාපොරොත්තු වෙන්නේ මහා පරිමාණයේ කොන්ත්‍රාත් දීලා ගොඩනැගිලි හදලා , යන්ත්‍රසූත්‍ර අලුතින්ම මිලදි අරගෙන කටයුතු කරන්න නොවෙයි. ඌන උපයෝගි සහ පූර්ණ ලෙස අතහැර දමා තිබෙන රාජ්‍ය අංශයේ සම්පත් විශාල වත්කම් දේපොළ ප්‍රමාණයක් තියෙනවා. රත්මලානේ තිබෙන ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ දැවැන්ත යන්ත්‍රසූත්‍ර තියෙනවා. සම්පත් තියෙනවා. දරුවන් හාරසියයි සිටින්නේ. ඇතැම් පාඨාමාලාවල සිටින්නේ සිසුන් දෙන්නයි. කවුරුත් ඇමැතිවරයෙක් බලලා නැහැ. තිබෙන සම්පත් ගැන හිතලා නැහැ. මේ වගේ රට වටේ ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා නාමික වශයෙන් පවත්වාගෙන යනවා. ඊට දරුවන් එන්නේත් නැහැ. රට ඒවා තියෙන බව දන්නෙත් නැහැ. ඒ නිසා දැනට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ලබාදෙන විවිධ අමත්‍යාංශ හා දෙපාර්තමේන්තු ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරාගන්න බලාපොරොත්තු වෙනවා.

වත්කමුත් සමඟ. ඒවා සියල්ල විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලේජස් බවට පත් කරනවා. මේ ආයතන මේ වසර තුළදී අවම වශයෙන් සීයක් පමණ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විද්‍යාතනයකට දරුවන් පන්සීයක් ඇතුළත් කරගන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු තාක්ෂණය , මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය , තොරතුරු තාක්ෂණය හා ඒ විෂය ආශ්‍රිත ඉංග්‍රීසි භාෂාව සහිත ජාත්‍යාන්තරයේ රැකියා ලබාගැනීමට හැකි පාඨමාලා වසර දෙකක් සඳහා ඇති කරනවා. එක්වසරක ඩිප්ලෝමා දෙවන වසරේදි උසස් ඩිප්ලෝමා ලබාදෙනවා. ඒවා විශ්වවිද්‍යාල බවට පත් කරන්නේ නැහැ. ලෝකයේ සෑම උසස් රටක්ම පාහේ තිබෙන අධ්‍යාපන ආයතන ගැන දැන්විම් සතිඅන්ත පුවත්පත්වල අධ්‍යාපන අතිරේකවල දැන්වීම් පළ කර තිබෙනවා. ඒ රටවල විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට කොයිතරම් මෙරට දරුවන් අරගෙන යන්න මේ පුවත්පත් දැන්මීම් පළ කර තියෙනවා. එසේ ගෙන යන්න පුළුවන් වෙන්නේ එවැනි පිළිගන්නා ආකාරයට ආයතන අපි පිහිටුවලා නැති නිසයි. මේ සඳහා අපි විශේෂ පනතක් ගෙන එනවා. කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වගේමයි. දැනට පවත්වාගෙන යන ආයතන තියෙනවා ඒවා විශ්වවිද්‍යාල බවට පත්වෙන ඒවා වෙන්න පුළුවන්. දැනට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කමිටුවක් දමා තියෙනවා, අලුත් ආයතන ගැන අධීක්ෂණය කරන්න. සිනමා, නැටුම්, මූර්ති කැටයම්, ඩිජිටල් තාක්ෂණය, මුද්‍රණය .මේ සඳහා සහතික ලබාගත් පසු ජීවන කටයුතු ආරම්භ කරන්න. මම රජයේ මුදාණාලයේ නිරීක්ෂණය කරන්න ගියා. එහි විශාල සම්පතක් තියෙනවා. ඉන් නිසි ප්‍රයෝජන ගත හැකියි. අපේ අය හිතන්නේ මේ නරා වළෙන් ගොඩ එන්න එකම මාර්ගය උසස් අධ්‍යාපනය ලැබීම කියලයි. ඒ නිසා තරුණයන් ත්‍රීරෝද වෙත යන එක නවතා ඒ දරුවන් රටට බරක් නැති ආකාරයටත් ලෝකයට සම්පතක් වෙන ආකාරයටත් ගෝඨාගේ අධ්‍යාපන විප්ලවය යටතේ දොරගුළු විවෘත කරනවා.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න