සියලු බලතල යොදාගනිමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නවා | දිනමිණ

සියලු බලතල යොදාගනිමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නවා

අගමැති තංගල්ලේදී කියයි

සියලු බලතල යොදා ගනිමින් ජනතාවට ලබාදිය යුතු සහන ලබාදීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නව වසර උදාව සනිටුහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල වජිරගිරිය මහා විහාරයේදී ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම, පාසල් දරුවන් සඳහා පොත් සහ පාසල් උපකරණ ලබාදීම සහ ආබාධිත පුද්ගලයන්ට රෝදපුටු ලබාදිමේ වැඩසටහනට ඊයේ (01) පෙරවරුවේ සහභාගි වෙමින් එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අගමැතිවරයා මෙසේද කීය.

අපිට තවමත් තිබෙන්නේ සුළුතර ආණ්ඩුවක්. අපි බහුතර ආණ්ඩුවක් පිහිටුවලා නැහැ. හුඟක් අය හිතනවා ජනාධිපතිවරණයක් පවත්වලා අපි ආණ්ඩුවක් හැදුවා කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂය හැටියට හිටපු අපි තමයි මේ වන විට වැඩිම ප්‍රමාණයක් මැතිවරණ ජයග්‍රහණය කර තිබෙන්නේ. මහමැතිවරණයෙන් පසුව තමයි අපිට හරි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වෙන්නේ.

ජනතාවට සහන ලබාදීම පමණක් නොවෙයි. රටේ සංවර්ධනය උදෙසා විශේෂිත අවධානයක් යොමු කර තිබෙනවා. වැට් බද්ධ ඉවත් කිරීම වැනි දේවල් තුළ එම ප්‍රතිලාභ හුඟක් අයට ලැබෙනවා. හැම ජන කොටසකටම මේ ප්‍රතිලාභ ලැබිය යුතුයි. ඇතැම් ජනතාවට එම ප්‍රතිලාභ නොලැබී යන්නේ ඒ ඒ ව්‍යාපාරිකයන්ට තිබෙන ඇතැම් ප්‍රශ්න නිසයි. මේ වර්ෂය බලාපොරොත්තු තබාගත හැකි වර්ෂයක්. රට සංවර්ධනය කරන වර්ෂයක්, ජනතාවට දුන් පොරොන්දු ඉටුවන වර්ෂයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.මේ අවස්ථාවට එක් වූ ඔබ සියලූ දෙනාටම සුබ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

මේ වැඩසටහනෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල වජිරගිරිය මහාවිහාරයේ විහාරාධිපති මිරිස්සේ ධම්මාවාසි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

නව අදහස දක්වන්න