ශ්‍රී ලංකාව-මාලදිවයින අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එ්කාබද්ධ වැඩපිළිවෙළක් | දිනමිණ

ශ්‍රී ලංකාව-මාලදිවයින අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එ්කාබද්ධ වැඩපිළිවෙළක්

නිමල් රාජපක්ෂ

ඇමැති ප්‍රසන්න රණතුංග

සංචාරක කර්මාන්තය නැංවීමට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර එ්කාබද්ධ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා සමඟ පසුගිය දා කොළඹ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදීය

එ්කාබද්ධ වැඩපිළිවෙළක් හරහා ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමටත්, මෙරට සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයිනට යොමු කර විවේකීව එහි ගත කිරීමට අවස්ථාව ලබාදීමටත් හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා ඇමැතිවරයාට යෝජනා කර තිබේ.

සංචාරක අංශයේ ප්‍රධානීන් සමගදඟ සාකච්ඡා කර මේ එ්කාබද්ධ වැඩපිළිවෙළ සකස් කළ හැකි බව ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ මස 28, 29,30, සහ 31 දිනවල මාලදිවයින් විදේශ කටයුතු ඇමැතිවරයා මෙරටට පැමිණෙන බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡාවක් සිදු කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වුහ.

 

නව අදහස දක්වන්න