හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩදීම ගැටලුවක් | දිනමිණ

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩදීම ගැටලුවක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ රෝහලක ප්‍රතිකාර ලැබීම වෙනුවට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් නිදහසට කරුණු විමසිය යුතු බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (31) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලක සුව පහසු ආකාරයට සිටියා. අපි නීතිමය කටයුතු වලට මැදිහත්වනනේ නෑ කියා පොරොන්දු වුණා. එහෙත් අද නිලධාරීන් නීතිය අයුතු විදිහට භාවිතා කරන බව පෙනෙනවා. බන්ධනාගාර ආඥා පනතේ 69 (1) උප වගන්තිය අනුව බන්ධනාගාර ගත කළ පුද්ගලයකු රෝගී තත්ත්වයට පත්වී තිබෙන අවස්ථාවක බන්ධනාගාර රෝහලෙන් ඒ ප්‍රතිකාර කටයුතු කරන්න බැරි නම් වෙනත් රෝහලකට මාරුකරන්න කොන්දේසි දෙකක් තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ පාලනය යටතේ රජයේ රෝහලක් විය යුතු අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ තිබෙන රෝහලක් විය යුතුයි. එසේ තිබියදී සේනාරත්න මහතා පෞද්ගලික රෝහලක සිටියේ කෙසේද? බන්ධනාගාර සිරකරුවකු වූවාට පසු ඔහුගේ පාලනය තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස්ට.

ආණ්ඩුවේ රෝහලකට ගෙනියන්න ඒ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ඉඩ දෙන්නේ නැත්නම් එය රටේ නීතිය උල්ලංඝණය කිරීමක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරියට බාධා කිරීමක්. මෙහිදී අපි කිසිම ආකාරයකට දේශපාලන බලපෑමක් නොකරන බවට වූ සිදුවීම හොඳ උදාහාරණයක්. නමුත් නීතිය නිසි ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ක්‍රියාත්මක කර නෑ. එහෙනම් අධිකරණ අැමැතිවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් නිදහසට කරුණු විමසිය යුතුයි. අධිකරණ ඇමැතිවරයා මේ ගැන කටයුතු කරන්නේ නැති නම් ජනාධිපති සහ අගමැතිවරයා ඇතුලු ඇමැති මණ්ඩලය ඉදිරියේදී අධිකරණ ඇමැතිගෙන් ඒ ගැන විමසිය යුතුයි. මේ කටයුතු නොවන්නේ නම් පසු පෙළ මන්ත්‍රීවරු ලෙස අපට ක්‍රියාත්මක වෙන්න සිදුවෙනවා.

මේ වනවිට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබඳව ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වැනි වගන්තියේ සඳහන් කර තිබෙන ආකාරයට “ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේ ය“ ජාතික උත්සවයකදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. එය වෙනස් කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත සහ ජනමත විචාරණයකට ගොස් අනුමත කළ යුතු යි. ඒ අනුව සුමන්තිරන් මහතාගේ සිහිනය සැබෑ වීමට නම් කළ යුත්තේ කුමක්ද කියන දේ ජනාධිපති නීතීඥවරයෙකු වන ඒ මහතා දැනුවත් වීම අවශ්‍යයි. ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ තිබෙන්නේ “ ශ්‍රී ලංකා තායි“ පදමාලාව කියා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේ 1977දී යි. එවකට ශ්‍රීලංකාවේ එකම රාජ්‍ය භාෂාව වූයේ සිංහල භාෂාව. ඒ නිසා එලෙස සඳහන් වී තිබෙනවා නම් එය පරිවර්තන දෝෂයක්. සිංහල ව්‍යවස්ථාව හා දෙමළ ව්‍යවස්ථාව අතර අනනුකූලතාවයක් පැවතුණොත් බල පවතින්නේ සිංහල පදමාලාව. 2015දී ජාතික නිදහස් උලෙළේ දී ජාතික ගීය දෙමළෙන් ගායනා කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ නැති ප්‍රශ්නයක් ඇති කළා. ඒවාගේම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළා. ඔවුන් ජාතික ගීය දෙමළ බසින් ගායනා කළේ සංහිඳියාව නාමයෙන්. නමුත් සිදු වුණේ සංහිඳියාව බිඳී යාමක්.

සම්බන්ධන් මහතාව නඩත්තු කළේත් සංහිඳියාව නාමයෙන් කිව්වා. විපක්ෂ නායක තනතුර අහිමිවීමෙන් පසු සම්බන්ධන් මහතාට මහජන මුදලෙන් නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා සහ පරිවාර සේවකයන් ලබාදීලා, සංහිඳියා ව්‍යාපෘති යැයි පවසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සහ මනෝ ගනේෂන් මහතාට ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කරලා, වසර 05ක් පුරා කළ ව්‍යාපෘති සාර්ථක නම් මේ වනවිට සංහිඳියාව ගොඩනැඟීමේ යම් ප්‍රගතියක් පෙන්වන්න ඕනෑ. නමුත් සිදු වී තිබෙන්නේ කුමක්ද? පසුගිය ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයට ජනතාව ජනවර්ග අනුව බෙදුණා. එයින් අපට ලබාදෙන ලොකුම පණිවිඩය වන්නේ කෝටි ගණනින් මහජන මුදල් විනාශ කළ එජාප ආණ්ඩුවේ සංහිඳිය ව්‍යාපෘති අසාර්ථක බවයි.

එහිදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් නිතීඥ තුෂාර දිසානායක මහතා ද අදහස් පළ කළේ ය.

චන්දිමා කරුණාරත්න ,

සඳුනි රණසිංහ

 

නව අදහස දක්වන්න