සෞභාග්‍යය සැලසෙන සුබ නව වසරක් වේවා | දිනමිණ

සෞභාග්‍යය සැලසෙන සුබ නව වසරක් වේවා

හිටපු ජනපති මෛත්‍රීපාල සිර‍ිසේන

උදා වූ නව වසර ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටු වන සුබ වසරක් වේවායි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රාර්ථනා කළේය.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් එම අදහස් පළ කරන ඒ මහතා මෙසේද සඳහන් කරයි.

උදා වූ නව වසර ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටු වන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනය කරමි. 2020 නව වසරත් සමඟ උදාවන්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයකි. ඒ හා බැඳුණු සියලු අභියෝග පුද්ගලයන් වශයෙන් ද, දේශයක් වශයෙන් ද ජය ගත යුතු අවස්ථාවකි. මේ වසර ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද සුවිශේෂී වසරක් වන්නේය. මේ සියල්ල කරා අප පියවර තැබිය යුත්තේ ජාතික සමඟියත්, සාමයත්, සංහිඳියාවත් සුරක්ෂිත කොට ගෙනය. ජාතියේ සැබෑ සමෘද්ධිය උදාකර ගැනීමටත්, රට ගොඩනැඟීමටත් ඇති නිවැරැදි ‍මග එය බව අප අවබෝධ කර ගත යුතුය. අපගේ අධිෂ්ඨාන‍යන් පරිපූර්ණ කර ගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමනාකරණය කරගනිමින්, නිවැරදි දේ නිවැරදිව ඉටුකිරීමේ වගකීමකට අනුගත වීමෙනි. එළැඹෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදුවන සොබා දහමේ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතු බව කාලගුණික සාධක අපට බලකර සිටී.

වඩාත් සුබවාදී වාසනාවන්ත අනාගතයක් ගොඩනැඟීමටත්, අද ජීවත්වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැඟීම වෙනුවෙනුත් ස්වකීය යුතුකම් ඉටු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි පතමි.

නව අදහස දක්වන්න