යහපාලනය නව විදුලිය එක් නොකිරීමෙන් 2019දී පාඩුව කෝටි 8500යි | දිනමිණ

යහපාලනය නව විදුලිය එක් නොකිරීමෙන් 2019දී පාඩුව කෝටි 8500යි

චමීර ඇල්ලදෙණිය

ඇමැති මහින්ද අමරවීර

2015 වසරේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට විදුලිබල ඒකකයක්වත් එක් නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 8500ක් පාඩු ලබා තිබේ.

යහපාලන රජය නව විදුලි ව්‍යාපෘති විසින් ක්‍රියාත්මක නොකිරිම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව විදුලිබල අමාත්‍යාංශය අනාවරණය කරයි.

2020 වසරේ දී රුපියල් කෝටි 12000 ඉක්මවන පාඩුවත් ලබනු ඇතැයි දැනට සිදු කර තිබෙන විමර්ශනයන් අනුව පුරෝකථනය කළ හැකි යැයි ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ නව වසර සඳහා රාජකාරි කටයුතු අරඹමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ දී පැළ සිටුවීම හා ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු අරඹමින් ඊයේ (01)පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

රාජ්‍ය ආයතන රැසක් පාඩු ලැබීමට සිදුවී තිබෙන්නේ බොහෝ විට අකාර්යක්ෂමතාව හේතුවෙනි. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය මෙවැනි විශාල පාඩුවක් ලැබීමට හේතුව නම් 2014 වසරේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට එක් විදුලි ඒකකයක් හෝ එක් කළ හැකි නව විදුලි ව්‍යාපෘති ආරම්භ නොකිරීම නිසා බවද අමාත්‍යවරයා අවධාරණය කෙළේය.

විදුලි අර්බුධයක් ඇතිවේ යැයි උපකල්පනය කිරීම නිසා හදිසි මිල දී ගැනීම් සිදු කිරීමට කටයුතු කරන අතර, රජය විශාල අලාභයක් දරමින් මහජනතාවට සහන මිලට විදුලිය සපයයි. දැනට අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 13කට විදුලිය ලබා දෙන්නේ ඒකකයක් රු. 2.60ක් වැනි මුදලකට වුවද, රජය විසින් එක් ඒකකයක් සඳහා වැය කරන මුදල රුපියල් 24ක් පමණ වන බව ද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

කෙසේ වුවද, ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ද වාර්ෂිකව රු. කෝටි 800ක පාඩුවක් ලබයි. එවැනි ම පාඩුවක් මෙම වසර තුළ ද සිදු වේ යැයි අනුමාන කළ හැකි බව කී අමාත්‍යවරයා සෑම සේවකයෙක්ම , නිලධාරියෙක්ම තම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා කැප වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

මීළග වසර තුළදීවත් මෙම ආයතන සියල්ල ලාභ ලබන තත්ත්වයට පත් කිරීම දැවැන්ත අභියෝගයකි. විශේෂයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙම වසර තුළ නව විදුලිබල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කී අමාත්‍යවරයා එම සැලසුම් අනුව කටයුතු කිරීම තුළ විදුලි අර්බුදයක් ඇතිවීම වැලැක්වීම මෙන්ම හදිසි මිලදී ගැනීම් සඳහා වැයවන මුදල් ඉතිරි කර ගැනීමට ද හැකි වනු ඇතැයි විශ්වාසය පළ කෙළේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය පරිශ්‍ර හරිත දුම්රිය ස්ථාන බවට පත් කිරීමට රජය තීරණය කර ඇති අතර ලංකාවේ සියලුම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක් ද රජය විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව දෙමටගොඩ දුම්රිය අංගනයේ දි එම වැඩ පිළිවෙළ ද ඇමැතිවරයා විසින් ආරම්භ කෙළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න