ඕනෑම ලාංකීය සේවකයෙක් නීතියට අවනත වියයුතුයි | දිනමිණ

ඕනෑම ලාංකීය සේවකයෙක් නීතියට අවනත වියයුතුයි

ස්විට්සර්ලන්තය අවධාරණය කරයි

සිය තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ඕනෑම ශ්‍රී ලාංකීය සේවකයෙක් ශ්‍රී ලංකාවේ නීතියට අවනත වියයුතු බව ස්විට්සර්ලන්තය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්ත රජය අතර පැවති සබඳතාවලට යම් බාධාවක් පසුගිය කාලසීමාවේ එල්ල වූ නමුත් කිසිඳු විටක ශ්‍රී ලංකාවේ කීර්තිනාමය හෑල්ලුවට ලක්කරවීම තම රටේ අභිප්‍රාය නොවූ බවයි.

ශ්‍රී ලංකා රජය සමඟ සබදතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව පවසන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම තම අරමුණ බවද ශ්‍රී ලංකාව තුළ පවතින නීතිමය ක්‍රියාවලියට ඕනෑම කෙනෙකු අවනත විය යුතු බවද කියාසිටී.

රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ පැහැර ගැනීමට ලක්වූවා යැයි පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය දා නියෝග කළාය.

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක් පුරා විශිෂ්ට සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව පෙන්වාදෙන එම තානාපති කාර්යාලය විවිධ ක්ෂේත්‍ර ගණනාවක සැලකිය යුතු සහයෝගීතාවක් පැවැති බවද දෙරටටම සහ දෙරටේම ජනතාවට ප්‍රතිඵලදායී සම්බන්ධතාවයක් පැවැති බවද පෙන්වාදෙයි. දෙරටම මෙම සම්බන්ධතාව අගය කරන බවද කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් කියාසිටී.

තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වරදවා වටහා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් මේ සම්බන්ධයට යම්කිසි බලපෑමක් එල්ල වූ නමුත් සනාථ නොවූ කාරණා සම්බන්ධයෙන් මෙම සිද්ධිය පොදු ජනතාව තුළ කතා බහක් ඇතිකළ බවද මේ නිසා දෙරට පැවැති යහපත් සම්බන්ධතාවයට අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට කිසිදු හානියක් කිරීමට ස්විට්සර්ලන්තයට අවශ්‍ය නොවූ බවද කියයි.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සුබවාදී සම්බන්ධයක් ගොඩනැඟීම ගැන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විශ්වාස තබා තිබෙන අතර දේශීය කාර්ය මණ්ඩලයට දේශීය නීතිය අදාළ වන බව තානාපති කාර්යාලය පිළිගෙන ඇත. එසේම තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සුබසාධනය වෙනුවෙන් තමන් කැපවිය යුතු බවද පිළිගනියි. එසේම තම භූමියේ පවතින තානාපති කාර්යාලවල ආරක්ෂාව සැලසීම පවතින ආණ්ඩුවේ වගකීම යැයි ද ස්විස් තානාපති කාර්යාලය නිකුත් කළ ලිපියේ සදහන්කර ඇත.

දෙරට අතර සම්බන්ධය වඩාත් දියුණු කළයුතු යැයි ද අන්‍යෝන්‍ය වශයෙන් දෙරට විසින් සම්බන්ධතා තරකර ගැනීමට කටයුතු කළයුතු යැයි ද එම ලිපියේ සඳහන් වන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සිය අවධානය යොමු කර තිබේ.

මහින්ද අලුත්ගෙදර, බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න