රටවල් 48කට ලබා දී තිබූ නිදහස් විසා කාලය මාස තුනකින් දිර්ඝ කෙරේ | දිනමිණ

රටවල් 48කට ලබා දී තිබූ නිදහස් විසා කාලය මාස තුනකින් දිර්ඝ කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබු නිදහස් විසා කාලය ලබන අප්‍රියෙල් මස 30 වෙනිදා දක්වා මාස තුනකින් දිර්ඝ කිරීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

2019 අගෝස්තු මස සිට මෙම රටවල සංචාරකයන් මෙරටට පැමිණීමේදි නිදහස් විසා හිමි වූ අතර එය ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කොට ඇත.

මෙලෙස රටවල 48 ක් සදහා නිදහස් වීසා ලබා දීමට පියවර ගැනුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම නිසාය. ඒ අනුව අමෙරිකාව, ඔස්ට්‍රේලියාව , චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය , ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 කට මෙම නිදහස් වීසා පහසුකම හිමි විය. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 මැයි මාසයේදි දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 37,802 කි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති පදවියට පත්වීමත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ව ඉහල ගොස් ඇති අතර එය තවරදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නිමල් රාජපක්ෂ

නව අදහස දක්වන්න