රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලිනුත් | දිනමිණ

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලිනුත්

නුවන් කොඩිකාර

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී සහ අලුත් කිරීමේදී සැහැල්ලු වාහන බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය මින් ඉදිරියට රජයේ රෝහල්වලින් ලබාගැනීමේ අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර තිබේ.

මෙම වෛද්‍ය සහතිකය මෙතෙක් නිකුත් කරනු ලැබුවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආයතනයෙන් පමණක් වන බැවින් එම ස්ථානයේ පවතින දැඩි තදබදය අවම කිරීමට සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජය මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව බර වාහන බලපත්‍ර සඳහා වන වෛද්‍ය සහතික හැර අනෙක් සියලුම සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය සහතිකය ඉදිරි සති කිහිපයෙන් පසුව රජයේ රෝහල් හා ප්‍රාදේශීය රෝහල්වලින් ලබාගැනීමට ජනතාවට ඉඩකඩ සැලසෙන බව ප්‍රවාහන කළමනාකරණ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවැසීය.

යම් පුද්ගලයකුට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආයතනයෙන් ද මෙම වෛද්‍ය සහතිකය ලබා ගතහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

කාර් එක ගෙදර තියලා බස් එකේ වැඩට ගිහින් එන්න හිතෙන ප්‍රවාහන සේවාවක් නව වසරේ ඇති කරන බවත් එය කොළඹට පමණක් නොව සමස්ත රටම ආවරණය වන පරිදි සිදු කරන බවත් හෙතෙම කීවේය. මේ මගින් ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කළ හැකි බව පැවැසු ඒ මහතා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රවාහන කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඇති සියලුම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන බව පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. එල් පීරිස්, පාලක ලේකම් රේණුක පෙරේරා මහත්වරුන්ද මෙහිදි අදහස් දැක්වූහ.

 

නව අදහස දක්වන්න