හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක දැයෙන් සමුගෙන තෙවසර | දිනමිණ

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක දැයෙන් සමුගෙන තෙවසර

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා දැයෙන් සමුගෙන දෙසැම්බර් 27 දිනට තෙවසරක් සපිරිණි.

රත්නසිරි වික්‍රමනායක නම් ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයාගේ නාමය හොරණ රයිගම් පුරවරයේ මෙන්ම සමස්ත ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ජනතාවගේ මතකයෙන් කිසිදා ඈත් නොවන හේතු රැසක් ඇත. අවංකව ප්‍රතිපත්ති ගරුකව දේශපාලනයේ නිරත වූ ඔහු ජනතාවට සේවය කිරීම ස්වකීය ඒකායන අරමුණ කරගත් අතර අවස්ථාවාදී පිල්මාරු දේශපාලනය මුළුමනින්ම බැහැර කළේය.

ත්‍රස්තවාදයට එරෙහිව ජනපවුර ගොඩනැඟීමෙහිලා ඔහු අතින් ඉටු වූයේ මහඟු කාර්යභාරයකි. රත්නසිරි වික්‍රමනායක මහතා නිහතමානී ජනහිතකාමී පුද්ගලයෙකු වන අතර ඔහු දේශපාලනයට පිවිසියේ උසස් අධ්‍යාපනයත්, අත්දැකීම් වලින් පරිපූර්ණත්වයත් ලබාගනිමිනි. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පසුව කොළඹ ආනන්ද විදුහලෙන් උසස් අධ්‍යාපනය ද ලබා එංගලන්තයේ ලිංකසස් ඉන් නීති පීඨයේ නීති අධ්‍යාපනයද හැදෑරූ ඔහු තම ජීවිතය මුළුමනින්ම හැඩගස්වා ගත්තේ තමා උපන් හොරණ මිල්ලෑව ගමේ ගැමි පරිසරයේ සමාජීය හර පද්ධතිය උකහා ගනිමිනි.

සැදැහැවත් බෞද්ධයෙකු ලෙස සංඝරත්නය කෙරෙහි අපමණ ලැදියාවක් දැක් වූ ඔහු ගැමි කලාකරුවන් සැලකුවේ කිට්ටුම ඥාතීන් ලෙසයි. එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලයේ ශිෂ්‍ය දේශපාලනයේ උද්‍යෝගිමත්ව නිරත වූ වික්‍රමනායක මහතා 1955 වසරේ දී ලන්ඩන්හි ආසියා අප්‍රිකා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයේ ද කටයුතු කළ අතර එම වසරේ පෝලන්තයේ පැවැති ලෝක තරුණ සම්මේලනයේ ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ද දැරීය.

බණ්ඩාරනායක මහතාගේ නව දේශපාලන ව්‍යාපාරය හොරණ ප්‍රදේශයට හඳුන්වා දෙමින් මූලික වැඩ කොටසක් ඉටුකළේ රත්නසිරි වික්‍රමනායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ ශාස්ත්‍රාචාර්ය මුනිදාස වික්‍රමනායක මහතාය. හොරණ ප්‍රගතිශීලි දේශපාලනයේ සාර්ථක නිමාවක් නොදැක මුනිදාස වික්‍රමනායක මහතා 1959 දී සතුරු ප්‍රහාරයකින් මිය ගිය අතර සොහොයුරාගේ අවමංගල්‍යයට පැමිණි රත්නසිරි වික්‍රමනායක මහතාට තම සහෝදරයා නතර වූ තැන සිට දේශපාලන කටයුතු ඇරඹූ අතර ඔහු‍ට සමකාලීන තරුණ පිරි‍සගේ සහාය නිතැතින්ම ලැබුණි. කරුණාසේන ජයලත් ප්‍රමුඛ ලේඛක හා කලාකරුවන් සහ හොරණ විද්‍යාරත්නයේ එවක සිටි පරිවෙණාධිපති මහනුවර ධම්මරතන හිමි ප්‍රමුඛ සංඝරත්නයත් වික්‍රමනායක මහතාට ආශිර්වාදයක් විය. 1960 මාර්තු මැතිවරණයට පිලිප් ගුණවර්ධන මහතා නායකත්වය දැරූ මහජන එක්සත් පෙරමුණෙන් තරග වැදී පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබීම එතුමාගේ දේශපාලන ගමනේ පළමු අදියර විය. ඔහු‍ගේ ප්‍රතිවාදියාවී පරාජය වූයේ එජාපයේ පළමු පෙළේ නායකයකු වූ එම්. ඩී. එම්. ජයවර්ධන මහතා ය. 1960 ජූලි මැතිවරණයට වික්‍රමනායක මහතා තරග කළේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසය. දෙවැනි වරට ද ඔහු හොරණ අසුනය දිනා ගත්තේය. 1962 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ඔහු ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලැබූ අතර පසුකාලීනව පක්ෂයේ මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු දරමින් මහඟු සේවයක් ඉටුකළේ ය.

හොරණ අධ්‍යාපන ප්‍රබෝධයේ ශ්‍රේෂ්ඨතම නියමුවා ලෙස ඒ මහතා මිල්ලෑව, මාපුටුගල, ඉංගිරිය, පළන්නරුව වැනි විද්‍යාලවල තත්ත්වය උසස් කළ අතර ඒවායේ ගොඩනැඟිලි, රසායනාගාර, ක්‍රීඩාපිටි, පුස්තකාල වැඩිදියුණු කළේය. නවතම විදුහලක් ලෙස හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ඉදිකර සිසු අයිතියට පවරා දෙනු ලැබීය. 1970 මැතිවරණය දිනා නියෝජ්‍ය අධිකරණ ඇමැති ධුරය දැරීමට අවස්ථාව ලැබූ වික්‍රමනායක මහතාගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් වූයේ අධිකරණ අැමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබීමයි. කෙටි කාලයක් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කළ රත්නසිරි මහතා අනතුරුව වැවිලි කර්මාන්ත ඇමැති ධුරය ද හෙබවීය. 1994 වර්ෂයේදී පොදුජන එක්සත් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කරමින් මනාප ඡන්ද 88,213ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ අභාවයෙන් පසුවද එනම් 2001 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ 12 වෙනි අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දී කටයුතු කළ අතර 2005 නොවැම්බර් 21 වැනිදා දෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ රජයේද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් රත්නසිරි වික්‍රමනායක මහතා මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ කීප දෙනාගේ නාම ලේඛනයටද එක් විය. ත්‍රස්ත විරෝධී ජනපවුර ශක්තිමත් කිරීමෙහිලා මහඟු සේවාවක් ඉටුකිරීමට ඔහුට හැකි වූයේ මේ අවධියේය. ඒ මහතා මුළු රටටම අදාළ කටයුතු ද අනලස්ව මෙන්ම ඉතාම නිහතමානීව ද ඉටුකළේ සකල ශ්‍රී ලංකාවාසීන්ට තමා ඉතා කාර්යශූර එඩිතර රයිගම් පුත්‍රයෙකු බව පසක් කරමිනි.එතුමා මිය යන තෙක්ම සරල ගැමි දිවි පෙවෙතක් අනුගමනය කළේය. තම ජනප්‍රියත්වය කිසි දිනක අබමල් රේණුවකවත් අඩුවක් ‍කර නොගත් මේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයාගේ නාමය සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවගේ හදවත් තුළ නොනැසී රැඳී පවතී.

 

බන්ධුල ආර්.ගුලවත්ත

නව අදහස දක්වන්න