දරුවන්ගේ යහපත වෙනුවෙන් අප ජය ගත යුතු ඉලක්ක බොහොමයි | දිනමිණ

දරුවන්ගේ යහපත වෙනුවෙන් අප ජය ගත යුතු ඉලක්ක බොහොමයි

ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේ අනෙකුත් රාජ්‍ය ආයතන අතරින් ඉතාම වැදගත්, ජාතික වගකීමක් ඇති ආයතනයක් බැවින් එය ආරක්ෂා කර ගනිමින් රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් සේවය කළ යුතු යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

කෝට්ටේ මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරි කාර්යාලයට පැමිණි නව සභාපතිවරයා සහ නව නියෝජ්‍ය සභාපතිනී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්ම මහත්මීන් ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතා තවදුරටත් කථා කළ නව සභාපති මුදිත විදානපතිරණ මහතා මෙසේ අදහස් දැක්වීය.

මෙම ආයතනයේ මුල්ම සභාපතිවරයා වශයෙන් සේවය කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා වගේම පසුව සභාපතිවරයා වූ ජගත් වැල්ලවත්ත මහතාත් මගේ මතකයට නැඟෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කල්පනා කරන විට අප විසින් කළ යුතු, ජය ගත යුතු ඉලක්ක තිබෙනවා. විශේෂයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම හා ළමා අපයෝජන හා ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව අප මීට වඩා වගකීමක් ඇතිව ක්‍රියා කළ යුතුයි. ළමයින් පිළිබඳව අධීක්ෂණය වඩාත් වැදගත් ලෙස මා සලකනවා. අපේ දරුවන් වගේම ර‍ටේ දරුවන්ද ආරක්ෂා කිරීම අප හැමගේම යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙනවා. ඒ වගේම අපේ ළමා පරපුර පිළිබඳව දේශපාලනඥයින් ද දැනුවත් කළ යුතු බවට මා කල්පනා කරනවා. ආකල්ප වර්ධනය කර ජාතික මට්ටමින් කළ යුතු වැඩපිළිවෙළක් රටේ සියලුම දරුවන් වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. රජයේ සේවකයින්ගේ දැනුම හා ආකල්ප අපේ ළමා පරපුරේ අභිවෘද්ධිය සඳහාත් ආරක්ෂාව සඳහාත් ඉහළ මට්ටමකින් ලබාගත යුතු බවට මා විශ්වාස කරනවා. රාජ්‍ය සේවකයින් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ යුතු යැයි මා විශ්වාස කරනවා. ඒ වගේම විශ්වාසවන්තව රජයේ සේවකයින් කටයුතු කළ යුතුයි. දරුවෙකුගේ උප්පැන්නය ලබාගැනීමේ සිට වැඩිහිටි දරුවෙක් වන තුරු සියලු ගැටලුවලට පිළිතුරු මෙම ආයතනයෙන් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මා බලාපොරොත්තු වෙනවා. ඊට දක්වන සහයෝගය අගය කරනවා.

කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක

ඡායාරූප - කෝට්ටේ මධ්‍යම සමූහ

 

නව අදහස දක්වන්න