ඔබ සූදානම් ද? | දිනමිණ

ඔබ සූදානම් ද?

මහපොළව කිසිවකුට අයත් පෞද්ගලික දේපළක් හෝ පාරම්පරික උරුමයක් නොවේ. මාතෘභූමිය යනු හුදෙක් දේශපාලනික වදනක් නොවේ. “පරිසරය යනු, මම නො වෙමි සියල්ලයි” යනුවෙන් භෞතික විද්‍යාඥ ඇල්බර්ට් අයිස්ටයින් ප්‍රකාශ කළේය. දැන් සාමූහික ව සිතීමට එක්ව පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාකිරීමට කාලයයි. අන් සියල්ලට වඩා මහපොළව ගැන මෙනෙහි කිරීමට කාලයයි.

හරිත වර්ණ තුරු ලතා, කඳු වැටි, නීල වර්ණ ඇළ, දොළ, ගංඟා, සමුද්‍රය සහ අනෙක් සත්ත්ව ජීව විශේෂවලින් තොරව මානවයාට පැවැත්මක් නොමැත. ඔහු විසින් නිර්මාණය කළ කෘත්‍රිම ලෝකය හුදු මායාවක් සහ ප්‍රබන්ධයක් පමණි. කෑදරකම නිසා තමාට ජීවය දුන් සොබාදහම අමතක කර මනෝවිකාර ව හැසිරෙයි. තමා විසින් ම ඉදි කළ මධුර විහඟ නාදය, මී මැස්සන්ගේ ගුමු ගුමු ව. ගෙම්බන්ගේ තර්ක විතර්ක නොඇසෙන සිරකුටියක හුදකලා වූ හෙතෙම ඉතා කෙටි කලකින් පිපාසිත ව නිරාහාර ව පිඩාවිඳිනු ඇත. නොපැවැත්මේ සිට පැවැත්ම දක්වා කරන මෙම අනවරත අරගලයෙන් මනස විකෘති වූ හෙතෙම දිවිනසාගැනීමෙන් හෝ සමූල ඝාතනයයෙන් මිහිමතින් වඳවී යනු නියතය. “සංතෘෂ්ටියේ ප්‍රථම කොන්දේසිය මානවයා සහ සොබාදහම අතර සබඳතාව බිඳ නොදැමීම යැයි” රුසියානු මහා ගත්කතුවර ලියෝ ටොලස්ටොයි ප්‍රකාශ කළේය. ඉතිහාසයේ සෑම දෙයකට ම සීමාවක් ඇත. කාලය පැමිණි විට සවිඥානයේ නව පරිච්ජේදයක් ආරම්භ වේ. නව යුගයට ප්‍රවේශවීම සඳහා සෑම අයෙකුට ම සම අවස්ථා සහ අපේක්ෂා හිමි විය යුතුය. දැන් ඒ සඳහා කාලයයි.

 

මුඩුවන පෘථිවිය

“සෑම දිනයක් ම මහපොළවේ දිනයකි” මනවයා දින දසුනේ එක් දිනක් තොරා අන් සියලු දින අමතක කර දමයි. විවිධ සමරු උත්සව සහ අඬහැර දක්නට අසන්නට ලැබේ. ඒවා, තාවකාලික ව ගැටලුව ඉස්මතු කර සදාකාලික ව යටපත් කරන දේශපාලන සහ මාධ්‍ය ප්‍රයෝගයන්ය. අමෙරිකානු ස්වදේශික නායක සියටල් (1786 - 1866 ජූනි 07) වොෂින්ටනයට යාබද බ්ලේක් දූපත් හි වාසය කළේය. ඔහුගේ සැබෑ නම සියාත්ය. ඔහු දුවාමිස් (Duwamish) සහ සුකුවාමිස් (Suquamish) යන ගෝත්‍ර දෙකෙහි ම නායකයාය. වොෂින්ටනයේ සිටි සුදු පාලකයා ස්වදේශික රතු අමෙරිකානුවන් ජීවත් වූ භූමිය මිල දී ගැනීම සඳහා ඉල්ලා එවූ ලිපියට නායක සියටල් 1854 දී පිළිතුරක් යවමින් “මහපොළව මානවයාට අයත් නොවෙයි. මානවයා අනෙක් සතුන් මෙන් ම මහපොළවේ කොටසකි. ලේ ඥාතීත්වයෙන් පවුලක් එකට බැඳී තිබෙනවා මෙන් ම, හැමදෙයක් ම එකිනෙකට සම්බන්ධ යැයි.” කියා සිටියේය. සැබවින්ම මහපොළව කිසිවකුට අයත් පෞද්ගලික දේපළක් හෝ පාරම්පරික උරුමයක් නොවේ. මාතෘභූමිය යනු හුදෙක් දේශපාලනික වදනක් නොවේ. “පරිසරය යනු, මම නො වෙමි සියල්ලයි” යැයි භෞතිකවිද්‍යාඥ ඇල්බර්ට් අයිස්ටයින් ප්‍රකාශ කළේය. දැන් සාමූහික ව සිතීමට එක්ව පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාකිරීමට කාලයයි. අන් සිල්ලට වඩා මහපොළව ගැන මෙනෙහි කිරීමට කාලයයි.

2019 ජූලි මස එළිදැක් වූ Crowther Lab of ETH Zurich පර්යේෂණ වාර්තාවට අනුව හෙක්ටයාර් බිලියන 0.9 ක් (අක්කර බිලියන 2.2) අලුතින් වන වගාව සඳහා යොදාගත හැකි භූමියක් පෘථීවිය මත නිසරු වී තිබේ. එම භූමිය මත නැවත ශාක වගා කළ හොත් මානව කාබනික විමෝචනය 2/3 ක් උරාගත හැක. දේශගුණික වෙනස සඳහා වූ එම විසඳුම සොබාදහමේ අනාගත පැවැත්ම මත පදනම් විද්‍යාත්මක ගවේෂණයකි. වත්මන් ගෝලීය උණුසුම සමහන් කිරීමට කොතරම් ශාක ප්‍රමාණයක් අවශ්‍යදැයි සොයාබැලූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2015 වසරේ මෙවන් තක්සේරුවක පෘථීවිය මත ශාක බිලියන 400 ක් ඇතැයි ප්‍රකාශ වූව ද නව තාක්ෂණික මෙවලම් (කෘත්‍රිම බුද්ධිමත්භාවය AI) මගින් සිදු කළ පර්යේෂණයට අනුව ශාක ත්‍රිලියන 3.04 ක්, වත්මන් ජනගහනය (බිලියන 7.2) සමඟ සසඳන විට එක් මානවයෙක් සඳහා ශාක 422 ක් ඇත. පෘථීවිය මත සමස්ත භූමියෙන් 30% ක් වනාන්තරවලින් ආවරණය වේ. 1990 - 2016 ලෝක බැංකු වාර්තාවට අනුව වර්ග සැතපුම්. 502.000 (ව. කි. මී. මිලියන 1.3) විනාශ වී ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ තක්සේරුවට අනුව සෑම වසරක ම ආසන්න වශයෙන් හෙක්ටයාර් මිලියන. 3 (අක්කර මිලියන 18) විනාශ වේ. ඉකුත් වසර දෙක තුළ ඇෆ්ගනිස්තානයේ පමණක් වනාන්තර 70% ක් විනාශ වූ වග එහි සඳහන් වේ. වත්මන් විනාශය අනුව 2100 වන විට සම්පූර්ණයෙන් ම වැසි වනාන්තර මිහිතලයෙන් අතුරුදන් වේ. නිවර්තන වනාන්තර පෘථීවිය මතුපිට 6 -7% ක් ආවරණය කරන අතර, ශාක සහ සත්ත්ව විශේෂ 50% ක් දැකගත හැකිය. නිවර්තන වනාන්තර කාබන් ගිගාටොන් 210 ක් දරා සිටියි. එහෙත් දැන් නිවර්තන කලාපයේ වනාන්තර අඩක් විනාශ වී අවසන්ය. පසුගිය දසකය තුළ මානව ක්‍රියාකාරිත්වය නිසා විමෝචනය කළ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගැනිමට ත්‍රිලියන 1.2 ක ශාක වගාවක් අවශ්‍ය වේ.

පෘථීවිය මත ආසන්න වශයෙන් භූමිය වර්ග කිලෝ මීටර් 130 එනම් හෙක්ටයාර් බිලියන 13 ක් ඇතැයි ලෝක බැංකු වාර්තාවේ සටහන් වේ. ඉන් 30.8% ක් දැනටමත් වනයෙන් ආවරණය වී ඇත. සමස්ත භූමියෙන් 37.5% ක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගැනේ. එම භූමියෙන් නෙළාගන්නා අස්වැන්න බිලියන 17 ක ජනයා පෝෂණය කිරීමට සමත්වේ. එහෙත් අපි දිනපතා සැකසූ මාංශ ආහාර පරිභෝජනය කළ හොත් එම භූමියෙන් බිලියන දෙකක පමණ ජනයාට ආහාර නිෂ්පාදනය කළ හැකිය. වර්තමාන ගෝලීය ජනගහනය බිලියන 7 පෝෂණය කිරීමට වගා කළ හැකි භූමියෙන් 15% ක් ධාන්‍ය, එළවළු සහ පළතුරු ආහාර වගා කළ යුතුය. දේශගුණික වෙනසට ප්‍රතිචාර දැක්වීම සඳහා ආසන්න වශයෙන් පෘථීවිය මත 60% ක වන ආවරණයක් තිබිය යුතුය. දැනට වාණිජ කෘෂිකර්මාන්තයට යොදාගෙන ඇති 37.5% න් 15% ක් එළවළු සහ පළතුරු වගාව වෙනුවෙන් යොදා ගත හොත් 37.5% - 15% - 22.5% සමස්ත භූමියෙන් හෙක්ටයාර් බිලියන 3 ක් නව වන වගාව සඳහා ඉතිරි වේ. එ මගින් වාර්ෂික ව කාබනික වායු ටොන් බිලියන 54 ක් උරාගත හැකිවේ. වර්තමානයේ වායු ගෝලයේ (සූර්ය රශ්මිය රඳවාගන්නා) මිලියන කොටසක කාබනික වායු කොටස් 410 ක් ඇති අතර එය කාර්මික යුගයට පෙර යුගය දක්වා පසුබැසීමට, එනම් වායු ගෝලයේ කාබනික වායු කොටස් 350 දක්වා අඩුකිරීමට සමත් වේ.

වන විනාශය පෘථීවිය මත පාරිසරික සමතුළිතතාව බිඳ දමා ජෛව විවිධත්වය අනතුරට පත් කරයි. මානව කේන්ද්‍රීය අවිධිමත් සංවර්ධනය, පතල් කැණීම, ගිනි ගැනීම, වාණිජ අවශ්‍යතා, සමාගම් කෘෂිකර්මය (80%) වන විනාශයට හේතු වේ. වන විනාශය නිසා වාර්ෂික ව 12% -17% හරිතාගාර වායු විමෝචනය සිදු වේ යැයි ලෝක සම්පත් ආයතනය (World Resources Institute) පවසයි. වැසි වනාන්තරයන් හි ස්වභාවික ශාක විශේෂ 121 ක් ඖෂධ නිපැයුමට යොදාගැනේ. සෑම වසරක ම දකුණු අමෙරිකාව, අප්‍රිකාව සහ ගිනිකොණදිග ආසියාව වනාන්තර හෙක්ටයාර් මිලියන 13 ක් කෘෂිකර්මාන්තය සඳහා විනාශ කරයි. 2015 Nature වාරප්‍රකාශනයට අනුව 46% ක් වන ශාක විනාශ කර ඇත. ඉකුත් වසර 50 තුළ ඇමසෝනියානු වනයෙන් 17% ක් මානව ක්‍රියාකාරකම් නිසා අනතුරට ලක් විය. වනාන්තර මානවයා මුදාහරින කාබන්ඩයොක්සයිඩ් පමණක් නොව ගෝලීය උණුසුම දරා සිටින වායු උරාගැනීමට ද සමත් වේ. නිවර්තන වන තීරුවට දේශගුණික වෙනස 23% ක් අවම කළ හැක.

වන විනාශය නිසා වායු ගෝලයට විමෝචනය වන කාබන් ප්‍රමාණය 11% කි. එය ඉන්ධන දහනය වන වාහන මුදාහරින ප්‍රමාණයට සමාන්තරය. ලෝක ඔක්සිජන් නිෂ්පාදනයෙන් 20% ක් ඇමොසෝනියානු වැසි වනාන්තර නිපයයි. ඉදිරි දසක තුන තුළ වන විනාශය නිසා ජීව විශේෂ 28.000 ක් විනාශ වනු ඇතැයි ලෝක වන සත්ත්ව අරමුදල පවසයි. වර්තමානයේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ඖෂධ 25% ක් අමසෝනියානු වනය සම්පාදනය කරයි. රටවැසියාට ඉතා සුළු දෙයක් සරල ව කළ හැක. එය විශාල වෙනසකට මඟ පාදයි. ඒ සුළු දෙය හැකි සෑම තැනක ම පැළ (ශාක) සිටුවීම යැයි වන්ගාරි මාතායි ප්‍රකාශ කළාය.

 

කළ හැකි කුමක් ද?

සාගර ජලය 1994 - 2007 දක්වා කාලය තුළ කාබන්ඩයොක්සයිඩ් ගිගාටොන් 34 ක් උරා ගෙන ඇතැයි National Oceanic and Atmospheric Administration (NOAA) පවසයි. සාගරයට පසු කාබන්ඩයොක්සයිඩ් ගබඩාව ජෛව ස්කන්ධය biomass වනාන්තර පද්ධතියයි. ශාක වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදන කර බෙදාහරියි. ඉතා හොඳින් වැඩුණ කොළ සහිත ශාකයක් 2- 10 අතර පුද්ගල ප්‍රමාණයකට දිනකට අවශ්‍ය ඔක්ෂිජන් සම්පාදනය කරයි. සමූද්‍ර පැළෑටි Phytoplankton ගෝලීය ඔක්සිජන් අවශ්‍යතාවෙන් අඩක් 50% නිපයයි. එහෙත් වනාන්තර පිරිසුදු වායු සම්පාදනයේ ප්‍රරෝගාමියාය. පෘථීවිය මත සත්ත්ව ජීව අඩක් වන ආශ්‍රීත ව ජීවත් වෙති. එය භූමිය ජෛව විවිධත්වයෙන් 80% කි. බිම් පණුවා පස පෙරළා පෝෂණය කර මහපොළව සුවපත් කරන අතර සමනලයා, මීමැස්සා, කුඩා පක්ෂීන් පරාග සංයෝග කර වනාන්තර ශාක පද්ධතියේ පැවැත්ම සහතික කරති. තක්සේරුවට අනුව මිලියන 300 ක ජනයා ද මිලියන 60 ආදිවාසී ජනයා ද පරපුරෙන් පරපුරට ප්‍රවර්තනය වෙමින් වනයේ ජීවත් වෙති. ශාක අධික උෂ්ණත්වයෙන් මහපොළව රැක දෙයි. කාලගුණික රටාවන් වෙනස් කර වළාකුළු රඳවා වර්ෂාව ලබා දෙයි. ගංවතුර පාලනය කර, ජලපෝෂක ප්‍රදේශවල රඳවා, භූමියට උරා ගෙන භූගත ජල මාර්ග පුරවා දමයි. සුළඟේ වේගය පාලනය කරයි. නිසරු පස සාරවත් කරයි. කාබන්මොනොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ්, නයිට්‍රජන්ඩයොක්සයිඩ් වැනි විෂ දුමාර මගින් සිදුවන වායු දුෂණය අවම කරයි.

වර්තමානයේ මානවයා පොළඹවා ඇති මුදල මත පදනම් තරගකාරී ජීවන රටාව දැන් අභියෝගයට ලක්ව ඇත. මානවයා සිය ජීවන පැවැත්ම රඳා පවතින සොබාදහමට තර්ජනය නොකළ යුතුය. කෙන්යාවේ විසු නොබෙල් සාම ත්‍යාග ලාභී (2009) වන්ගාරි මාතායි හරිත තීරු එකමුතුව Green Belt Movement මත ස්ත්‍රීන් 900, 000 ක් බලසතු කර ශාක මිලියන 47 ක් වගා කළාය. “ජනයා බලසතු කිරීමෙන් තොරව ඔබට පරිසරය රැකගත නොහැක. ඔවුන් ව දැනුවත් කරන්න. මෙම සම්පත් ඔවුන්ට පොදු ව අයත් වග අවබෝධකර ගැනීමට උදවු කරන්න. එවිට ඔවුන් පරිසරය රැකගනීවි” යැයි අය කියා සිටියාය. ගුර්ගාඔන් හි තුරු මිනිසා Tree Man දිපක් ගෞරේ 2010 වසර සිට ශාක 47, 000 ක් රෝපණය කළේය. ජාදේව් පයෙනග් හෙවත් වන මිනිසා forest man 1979 වසර සිට අක්කර 1360 ක වනයක් වගා කළේය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රන්තය නර්මදා ගං ඉවුර දෙපස පැය දොළහක් තුළ මිලියන 1.5 ක ජන සහභාගිත්වයෙන් ශාක මිලියන 66 ක් රෝපණය කළේය. සෑම අයෙක් ම සිය ජීවිත කාලය තුළ ශාක 60 -100 ප්‍රමාණයක් වගා කළ හොත් ගෝලීය උණුසුම අවම කර ගැනීමට හැකි වේ. ඔබ ඒ සඳහා සූදානම් ද?

නව අදහස දක්වන්න