පශ්චාත් සත්‍ය කතිකාව | දිනමිණ

පශ්චාත් සත්‍ය කතිකාව

l විනාශකාරිත්වය විනාශ කිරීමට දැනුම සතු බලය - අවසන් කොටස

‘පශ්චාත් සත්‍ය ලෝකයක දැනුම ගොඩනැගීම’ යන තේමාව යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ පැවැති පස් වැනි වාර්ෂික ශිෂ්‍ය පර්යේෂණ සැසියේදී නිව් එංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩී.බී. සුබේදී ප්‍රධාන දේශනය පවත්වන ලද අතර එය "Knowledge: most powerful weapon to fight destructive elements" යන ශීර්ෂය සහිතව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබිණ. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි. පශ්චාත් සත්‍ය කතිකාව

පළමුවෙන්ම අප අපගේ පුරුද්ද වෙනස් කළ යුතුය. ව්‍යාජ ප්‍රවෘත්ති, කටකතා සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන ප්‍රචාර පරිහරණය කිරීමෙන් වැළකිය යුතුව ඇත. තොරතුරු තක්සේරු කිරීම, ප්‍රවෘත්ති ප්‍රශ්න කිරීමට සහ තොරතුරුවල විශ්වසනීයත්වය සොයා බැලීමට ශාස්ත්‍රීය ප්‍රජාවක සාමාජිකයකු වශයෙන් අපට සමාජ සහ සදාචාරාත්මක වගකීමක් තිබේ. නිදහසේ සංසරණය වන තොරතුරු සත්‍යදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය සම්පත් ද අප සතුය.

පශ්චාත් සත්‍ය කතිකාව නිසා ඇතිවන සමාජ බලපෑම ගැන සලකන විට, ප්‍රචණ්ඩ අන්තවාදය ප්‍රචලිත වන අන්දම කැපී පෙනෙයි. ප්‍රචණ්ඩ අන්තවාදීහු, ජනතාව විප්ලවීය ලෙස අන්තවාදයට සහ ත්‍රස්තවාදයට හරවා ගැනීමේ නරුම චේතනාවෙන් යුතුව කටකතා, ව්‍යාජ ප්‍රවෘත්ති සහ නුසුදුසු කාරණා ප්‍රචාරය කිරීමට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකාවක් බවට පත් කරගනිති. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සහ නවීන සන්නිවේදන පද්ධතිවල නැඟීමත් සමඟම එක තැනෙකට කේන්ද්‍රගතව තිබුණු ත්‍රස්තවාදයේ සම්ප්‍රදායික ව්‍යුහය, විකේන්ද්‍රණය වූයේ ය. එය මුළුමහත් ලෝකය පුරාම දැකිය හැකි තත්ත්වයකි. ඒ සමඟම, සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව හොඳ දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට, ව්‍යාජ ප්‍රවෘත්ති සහ කටකතා භාවිත කර සාමාන්‍ය ජනයා වීදිබැස්සවිය හැකි ය. අරාබි වසන්තය මෙහිදී නිදසුනක් හැටියට දක්වන්නට පුළුවන. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය, සමාජ සහ දේශපාලන බලමුළු ගැන්වීමට සම්බන්ධ සම්ප්‍රදායික ක්‍රමය වෙනස් කළේ කෙසේ ද යන්න අරාබි වසන්තයෙන් පිළිබිඹු වේ.

ප්‍රචණ්ඩ අන්තවාදීන්

වෙනත් වචනවලින් කිවහොත් පශ්චාත් සත්‍ය කතිකාව, සමාජ හා දේශපාලන බලමුළු ගැන්වුම් ක්‍රමය සහ මෝස්තරය රැඩිකල් ලෙස වෙනස් කර ඇත යන්නයි. ප්‍රචාර සහ කටකතාවල ආධිපත්‍ය හේතුවෙන් අපේ ශක්තිමත් සමාජ අන්තර්ක්‍රියා සහ එදිනෙදා ජීවිතය බිඳ වැටෙන අන්දමත්, සමාජ සහ ආගමික කණ්ඩායම් හුදකලාව වී ක්‍රියාත්මක වීමට පටන් ගන්නා අන්දමත් අපේ අවධානයට ලක් විය යුතුව ඇත. සමාජ කණ්ඩායම් හුදකලා වීම අද සාමාන්‍ය සමාජයේ සාමයට සහ සහජීවනයට විශාල තර්ජනයක් වී තිබේ.

පශ්චාත් සත්‍ය කතිකාව දැඩි ලෙස අයහපත්ව බලපා ඇති තැනක් වේ නම් ඒ දේශපාලනයයි. ව්‍යාජ ප්‍රවෘත්ති, කටකතා සහ ප්‍රචාර, ලෝ පුරා දේශපාලන ප්‍රතිඵල වෙනස් කරන්නට හේතුවක් වී ඇත. පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බටහිර රටවල් තුළ පවා ජනතාවාදයේ සහ දක්ෂිණාංශික අන්තවාදයේ නැඟීමට පශ්චාත් සත්‍ය කතිකාව සම්බන්ධ වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වන තෙක් බලා සිටින බංගලිදේශය, කාම්බෝජය, තායිලන්තය වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වලදී පශ්චාත් සත්‍ය කතිකාව තරගකාරී ඒකාධිපතිවාදයක් බවට පත්ව ඇත. මැතිවරණ නිදහසට වළකපන, දේශපාලන විරුද්ධවාදීන් තලා පොඩි කර දැමීමට මැතිවරණය භාවිත කරන තත්ත්වයක් ඉන් ඉස්මතු වේ. එවිට බලවත් දේශපාලන ප්‍රභූන් ඒකාධිපති පාලකයන් ලෙස ඉහළට එසවෙනු නිසැක ය. අතීතයේදී, අධිකාරි රෙජිම මතුවූයේ හමුදා කුමන්ත්‍රණ සහ දේශපාලන ඝාතන සමඟ ය. එසේ වුවත් පශ්චාත් සත්‍ය ලෝකයේ එය සිදුවන්නේ මැතිවරණ හරහාම වීම විශේෂත්වයකි.

ආර්ථිකය ඉදිරියේ ඇති බලපෑම ද භාරදූර ය. පුදුමය නම්, ඒ ගැන කිසිවක් අපට නොතේරීම ය. ධනවාදී ආර්ථිකයන්හි භාණ්ඩ නිර්මාණය කෙරෙන්නේ ලෝකයේ එක තැනෙක ය. අලෙවි කෙරෙන්නේ ලෝකය වෙනත් තැනෙක ය. ඒ භාණ්ඩ පරිහරණය කරන්නේ ලෝකයේ තවත් කෙළවරක සිටින පිරිසකි. මේ තත්ත්වය සම්ප්‍රදායික කෘෂි ආර්ථිකයකට වඩා වෙනස් බැව් අප අවබෝධ කරගත යුතු ය. එය ගෝලීයකරණයයි. ගෝලීයකරණ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ ය. ගෝලීයකරණය වූ ආර්ථිකය තුළ සිදුවන ගනුදෙනුවලින් ප්‍රතිලාභ ලබන්නේ කවරකු ද යන්න සොයා ගැනීම දුෂ්කර ය. ජයග්‍රාහකයන් සහ පරාජිතයන් කවරෙකුදැයි කියා කිසිවෙක් නොදනිති. ලාභය නැවත බෙදා හැරෙන්නේ කෙසේ ද යන්න අපි නොදනිමු. එසේම එය බෙදා ගන්නේ කවුද, ප්‍රතිලාභ ලබන්නේ කවු ද යන්න ගැනත් අපි නොදනිමු. මේ සංකීර්ණතාව, ජාතික පරිමාණයේ ඇති පෞද්ගලික සමාගම් සඳහා ද අදාළ වේ.

මෙහි කනස්සල්ලට කාරණයක් ඇත. එනම්, ගෝලීය ආර්ථිකය සහ එමඟින් අපේ එදිනෙදා ජීවිතයට බලපෑම් කරන පෞද්ගලික සමාගම්, විනිවිද නොපෙනෙන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලින් හරහා ප්‍රධානීන් පත්කර ගැනීම ය. පෞද්ගලික අංශවල ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා නොකරන්නෙමු. වඩා වැදගත්ම කාරණය, ආර්ථික වශයෙන් ගත් කල පෞද්ගලික සමාගම්, ආණ්ඩුවලටත් වඩා බලවත් ය යන්නයි. උදාහරණයක් ලෙස 2018 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 88.9ක් වීමත්, ගූගල් සමාගමේ එම වර්ෂයේ ආදායම බිලියන 136ක් වීමත් ය. මුදල්, බලය රැගෙන එන්නේ නම් මෙම සංඛ්‍යාවලින් නිරුපණය කෙරෙන්නේ ගෝලීයකරණය වූ වත්මන් ලෝකය තුළ බලය බෙදා හැරෙන ආකාරයයි.

කෙසේ වෙතත්, අපේ එදිනෙදා ජීවිතයට බලපාන පෞද්ගලික සමාගම්වල ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය ගැන හෝ අපේ රජයන් ගැන හෝ අප ප්‍රශ්න කරන්නේ නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදය වැරදී යන අංශ කිහිපයෙන් එකකි. මෙම යථාර්ථයන් සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ අඩුවෙනි. රජයෙන් පාලනය නොවන, පෞද්ගලික සමාගම්වලින් පාලනය වන ප්‍රවෘත්ති සේවාවන්වල එම යතාර්ථයන් සංසරණය වන්නේ ද කලාතුරකිනි.

දරිද්‍රතාව

අතීතයට වඩා වත්මන් ලෝකය අසමාන ය. 2018දී "ෆෝබ්ස්" සඟරාව පෙන්වා දුන් ආකාරයට ලෝකයේ ඉහළම ධනවතුන් දසදෙනාගේ දළ වත්කම බිලියන 743.8කි. ලොව ධනවත්ම 1% - එනම් ඩොලර් මිලියනයකට වඩා ඇති පිරිස, ලෝක ධනයෙන් 45%ක් හිමිකරගෙන ඇති බව මේ වසරේදී අනාවරණය විය. 2018 වසරේදී "ඔක්ස්ෆෑම්" ආයතනය එළි දැක් වූ වාර්තාවකින් අනාවරණය වූයේ ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනෙකු සතු ධනය, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බිලියන 3.8කගේ ධනයට සමාන බවකි. මෙම ආන්තික අසමානතා ජාතික වශයෙන් ද දේශීය වශයෙන් ද ප්‍රතිනිර්මාණය වේ. අද ලෝකයේ පවත්නා දරිද්‍රතාව මිනිසා විසින් සාදන ලද්දකි. එහි ඍජු ප්‍රතිවිපාක, සමාජය තුළ සහ සමාජ අතර අසමානතා වර්ධනය වීමයි. අප අසමත් කරන්නේ දර්ද්‍රතාව නොවේ. එහෙත් අසමානාතාව, දරිද්‍රතාව නිර්මාණය කරයි. අවසානයේදී අප මෙන්ම අපගේ දේශපාලන නායකයෝ ද අසමත් තත්ත්වයකට පත්වෙති.

ගැටලුව ගෝලීය වුවත් අප විසඳුම් සොයන්නට උත්සාහ ගන්නේ දේශීය වශයෙන්ය යන්න මා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි. සංවර්ධනය අසාර්ථක වී අසමානතාව වර්ධනය වනවිට ජනතාව පාලනය කිරීම අහිමි වේ යන බිය දේශපාලන පන්තිය තුළ ඇති වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වඩාත් කනස්සල්ලට පත්වන දේශපාලන පන්තිය, ව්‍යාජ ප්‍රවෘත්ති, කටකතා සහ ප්‍රචාර මත රැඳෙමින් බලයේ සිටීමට උත්සාහ ගනී. පශ්චාද් සත්‍ය ලෝකයේ දේශපාලන සහ ආර්ථික යථාර්ථය මෙයයි.

සමාජ අන්තර් ක්‍රියා

පශ්චාත් සත්‍ය කතිකාවෙන් අපේ එදිනෙදා ජීවිතයට සහ අපේ සමාජ අන්තර් ක්‍රියාවන්ට සිදු කරන අයහපත් බලපෑම අවම කිරීමට පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන් සහ සිසුන් වන අපට කළ හැකි වන්නේ කුමක්ද යන ගැටලුවට දැන් මම පිවිසෙමි. එය බරපතළ ගැටලුවකි. ඊට පිළිතුරු සෙවීමේදී සීමා ඇති බවත් මම පිළිගනිමි. එසේ වුවත් ධනාත්මක බලපෑමක් කළ හැකි ආකාරය ඉස්මතු කිරීමට කැමැත්තෙමි.

පළමුවෙන්ම අප අපගේ පුරුද්ද වෙනස් කළ යුතුය. ව්‍යාජ ප්‍රවෘත්ති, කටකතා සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන ප්‍රචාර පරිහරණය කිරීමෙන් වැළකිය යුතුව ඇත. තොරතුරු තක්සේරු කිරීම, ප්‍රවෘත්ති ප්‍රශ්න කිරීමට සහ තොරතුරුවල විශ්වසනීයත්වය සොයා බැලීමට ශාස්ත්‍රීය ප්‍රජාවක සාමාජිකයකු වශයෙන් අපට සමාජ සහ සදාචාරාත්මක වගකීමක් තිබේ. නිදහසේ සංසරණය වන තොරතුරු සත්‍යදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය සම්පත් ද අප සතුය.

අප අපගේ අධ්‍යාපනය තුළ, පර්යේෂණ සංස්කෘතියක් වැඩි දියුණු කර එය ශක්තිමත් කළයුතු බවත් මම අවධාරණය කරමි. අප තර්ක, ප්‍රති-තර්ක, ආඛ්‍යාන, ප්‍රති-ආඛ්‍යාන මත පදනම් වූ සංස්කෘතියක් ගොඩනැඟිය යුතුව ඇත. "අපි එකඟ නොවීමට එකඟ වෙමු" යන්න ඉතාමත් සාමකාමී ලෙස වටහා ගැනීම, ශාස්ත්‍රීය කටයුතුවල ඇති සුන්දරත්වයයි.

විශ්වවිද්‍යාල සිසුන් සහ උපාධිධාරීන් කෙරෙහි මට විශාල විශ්වාසයක් ඇත. ඒ අනෙකක් නිසා නොව අපගේ සිසුන් උපාධිය ලබා ගන්නා විට විවේචනාත්මක චින්තන කුසලතාවය වර්ධනය කර තිබීම නිසයි. එනම්, විවිධ කෝණවලින් සහ දෘෂ්ටිකෝණවලින් අදහස්, කරුණු සහ තර්ක දෙස බැලීමේ කලාවයි. රැකියා ස්ථානයේ, පවුලේ හෝ තමන් ජීවත් වන ප්‍රජාවේ හෝ වේවා, ප්‍රචාර, විනාශකාරී ආඛ්‍යාන ආදිය ප්‍රශ්න කිරීම සහ ඒ වෙනුවට විකල්ප ඉදිරිපත් කිරීම ඔබේ වගකීමයි. ජාතිය, ජනවාර්ගිකත්වය, ආගම, කුලය සහ ජාතිකත්වය නම් පටු කාච භාවිතයෙන් ඔබ ප්‍රශ්න දෙස බැලුවහොත් එය විවේචනාත්ම නොවන බව මම ඔබට පවසමි. ඔබ කිසියම් ප්‍රශ්නයක් දෙස ගෝලීය මානවවාදී දෘෂ්ටිකෝණයකින් සහ සමාජ වෙනස්වීමේ දෘෂ්ටිකෝණයකින් බැලුවහොත් විකල්ප අදහස් හා කරුණු සොයාගත හැකි ය. අප දේශාභිමානය ජනනය කර නොගන්නේ නම්, පශ්චාත් සත්‍ය කතිකාව තුළ බලවත් පුද්ගලයන් අප අවභාවිත කරනු ඇත.

පශ්චාත් සත්‍ය කතිකාවෙන් නැඟෙන විනාශකාරී අංගයන්ට එරෙහිව සටන් කිරීමට, අපගේ විශ්වවිද්‍යාල සිසුන් තුළ බලවත් අවියක් ඇති බව මම තරයේ විශ්වාස කරමි. එනම්, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා විට ලබන පර්යේෂණ කුසලතාව සහ විවේචනාත්මක චින්තනයයි. පශ්චාත් සත්‍ය කතිකාව අපේ ලෝකයට රිංගාගෙන ඇත. එනිසා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිත කරන විට පරෙස්සම් වන්න; ස්වයං වගකීම, සමාජ සදාචාරය සහ ආචාරධර්ම ගැන සිතා බලන්නට කාලය එළඹ ඇති බව මතක් කරමි. දැනුම, ආචාරධර්මානුකූල ක්‍රමවලින් භාවිත කිරීම, පශ්චාත් සත්‍ය ලෝකයේ කතිකාවට එරෙහි වීමට ඇති කුඩා පියවරක් වන නමුත්, එය ප්‍රබල පළමු පියවර වන බව ද මතක් කර දෙමි.

සිංහලට පෙරළුම

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න