යක් පැටියා | දිනමිණ

යක් පැටියා

“අනේ නැන්දේ, මට මේ බත් නම් කන්ට බෑ. ගිලින්ටත් හරි අමාරුයි!”

තම්බපු හාලේ ඝන ඇට සහිත බත්පත දෙස හො‍රැහින් බලා ‘නඳුන්’ මැසිවිලි කීවේ ය.

“සුදු පුතේ එහෙම කියල කොහොමද? අපි කවුරුත් කන්නේ ඔය හාල්වලින් උයපු බත්. අනික ඒවා අපේම කුඹුරුවලින් ගත්ත හාල්.”

“ඔයාලට නම් මේවා කන්න පුළුවන් ඇති. ඒත් මට නං හරි අමාරුයි.”

“ඔය බොරු කතා කියන්නට එපා පුතේ. ඔයා ඊයෙ රෑට කෑවෙත් නෑ. අද බොරු ලෙඩක් අරන් ඉස්කෝලෙ ගියෙත් නෑ.”

බොහෝ සිහින් සිරුරින් යුතු, ඉත්තෑකූරු කෙස් ඇති, තලඑළළු පැහැ පිරිමි ළමයා එක්වරම යමක් මෙනෙහි වූවා සේ දකුණු කන අතින් අල්ලා ගත්තේය.

“බොරු නෙවෙයි නැන්දෙ, ඇත්තටම මට ඉවසන්ට බැරි කනේ අමාරුවක් හැදුණා.”

සමහර දිනවල හය හැවිරිදි වියේ උන් ‘නඳුන්’ සහ ඔහුගේ නැන්දනිය වූ විසිහය හැවිරිදි ‘ලතා’ අතර මෙබඳු කතාබහ සිදුවෙයි. ‘ලතා’ නඳුන්ගේ පියාගේ එකම නැඟණියයි. අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අධ්‍යාපනය අවසන් කළ ඇය මැහුම් පංතියකට යයි.

නඳුන්ගේ මවුපියන් රජයේ සේවකයන් වූ බැවින්, පාසල් ඇරී ආ පසු ඔහුව කවා පොවා රැකබලා ගත්තේ ‘ලතා’ විසිනි. ඔහුගේ කරදර ඉවසනු බැරි තැනකදී මෘදු හදවතක් තිබුණ ද ඇයට ද කේන්ති යන අවස්ථා ඇති වේ. නඳුන්ගේ කුදු මහත් කටයුතු ඉටුකරන ඇය නිසි පරිදි ආහාර නොගන්නා බැවින් බෙහෙවින් කෙසඟ ඔහුගේ සිරුර දෙස බලා දුක් වෙයි.

“ගමේ අනික් කොල්ලො බෝල ගෙඩි වගේ ඉන්නවා. උන්ට හරියට කන්ට දේකුත් නෑ. අපේ එකාට ඕන පදං කෑම තිබිලත් ඇටකිච්චෙක් වෙලා!”

නඳුන්ගේ මවට කිරි හිඟ වීම නිසා ඔහුට මවුකිරි බීමට ලැබුණේ මාස තුන හතරක් පමණි. ටිංකිරිද හිඟ ඒ කාලයේ එළකිරි ඩිංගක් සොයා ගන්නට සැතපුම් ගණන් දුර ගෙවා යන්නට පවා ඉදිරිපත් වූයේ ‘ලතා’ය.

“යකෝ මේකා පුදුම යක් පැටියෙක්නේ. බත් ඇටයක් කටේ තියන්නෙ නෑ.”

වයසින් වැඩෙන විට ද ‘නඳුන්’ගේ ගති සොබා වෙනස් නොවීම ගැන ඔහුගේ මව උරණ වූවාය.

“ඒ වුණාට අපේ එකාගෙ කටේ සද්දෙ නං මුළු පළාතටම ඇහෙනවා. අනික අපි එක්ක හරි හරියට කට ගහගෙන එනවා. තලනවා මං දවසක උන්දැගෙ කට!”

පියා ඇතැම්විට එසේ කියන්නේ දත්කූරු කමිනි.

සැබැවින්ම කොතෙක් දඬුවම් ලැබුවද, මවුපි‍යන් සමඟ එකට එක කියන ‘නඳුන්’ ගේ පුරුද්ද නැති කරන්නට බැරි විය. එහෙත් මේ සියල්ල මැද්දේ ඔහුගේ පිහිටට සිටියේ ‘ලතා’ නැන්දාය.

“නැන්දේ මට බත් කන්ට පිරියක් දැනෙන්නෙ නෑ. ඒ නිසා ඔයා මට රස දෙයක් හදල දෙනව ද?”

බොහෝ චාටු ස්වරයෙන් මෙදිනද ‘නඳුන්’ නැන්දණියට පැවසුවේය.

“හොඳයි බලමුකො! මොනවද මගෙ පුතාට ඕනෙ?”

“අනේ හොඳ නැන්දනේ. මට බිත්තරයක් බැදලා දෙන්ටකෝ.”

නිවසේ කිකිළියක් ඇති කළ බැවින් මේ ඉල්ලීම ඉටු කිරීම දුෂ්කර වූයේ නැත. ඇය හනිකට බිත්තරයක් තෙලෙහි බැද, ඔහුගේ පිඟානට උණු බත්ද බෙදා කතාකළාය.

“එන්න දැන් ඉතිං බඩ පිරෙන්ට කන්ට පුළුවන්.”

‘නඳුන්’ එතැනට ආවේය. ඉන්පසුව බත් පත දෙස බලා, අප්‍රසන්නතාව පළ කරන අටියෙන් යටි තොල පිටතට පෙරලුවේය.

“අයියෝ නැන්දේ මේ බිත්තරේ හරිම කුයිලයි. නරක් වෙළාද දන්නෙත් නෑ.”

එවර නම් ‘ලතා’ට බෙහෙවින් කේන්ති ගියේය.

“දැන් උඹ පොඩ්ඩකට කලින් කිව්වා නේද බිත්තරයක් බැද්දොත් කනවා කියලා. ඉතිං ඇයි මේ තරම් වධ දෙන්නේ. දැං මේ බත් ඩිංගිත්ත කාපං පුතේ! ඔය බිත්තරේට කිසි දෙයක් වෙලා නෑ.”

“නැන්දේ මේ බිත්තරේ මං හිතුවට වඩා කුයිලයි. නැත්තං මං කන්නයි හිතා හිටියේ.

එබසට ‘ලතා’ නැන්දාට යක්ෂාවේශ විය. “උඹ පුතේ මගෙන් හොඳ පදයක් අහන්ටයි තනන්නේ? ඇයි යකෝ මොන රටේ ද කිකිළි බිජුවලින් සඳුන් සුවඳ විහිදෙන්නේ?”

එයට පිළිතුරක් දෙන්නට ලැබුණේ නැත. නිවෙස ඉදිරිපිට ගුරු පාර පැත්තෙන් මහ හඬින් පිරිමි කටහඬක් ඇසිණි.

“මාලෝ... මාලෝ... මූදු මාලෝ...!”

ඒ හඬින් නඳුන්ගේ මුවෙහි මද සිනාවක් නැගිණි. ඔහු හීන් හඬින් නැන්දනිය ඇමතීය.

“නැන්දේ... පාරෙ මාළුකාරයා යනවා!”

ඇගේ කේන්තිය අලුත් විය. ඔහු ඊළඟට අල්ලන අඩව්ව ගැන ඇයට සියුම් අවබෝධයක් ඇති විය.

“ඉතිං මාළුකාරයා පාරෙ ගියාම බොට මොකද?”

“අනේ නැන්දේ මාළු කෑල්ලක් එක්කනම් බත් ටික කන්ට පුළුවන් වෙයි.”

“මේ ‘නඳුන්’ උඹ මාව විහිළුවකට ගන්ට එපා! දැං බිත්තර ඉල්ලුවා දුන්නා. ඒ මදිවට බෝංචි තියෙනවා. පිදුරු බිම්මල් මාළුව තියෙනවා. උඹ ඒ එකක්වත් කට හරියෙ තිබ්බෙ නෑ.”

“අනේ හොඳ නැන්දනෙ. මාළු ටිකක් උයල දෙන්ට. මං ඔක්කොම බත් ටික කන්නම්.”

ඔහුගේ මැසිවිල්ල කෙලවරවූයේ ‘ලතා’ ‘ලින්නා’ මාළු බාගයක් මිලදී ගැනීමෙනි. අලකොළවල ඔතන ලද මාළුවලින් නැගුණු පිළී ගඳ ඇගේ නැහැපුඩු හැකිලවීය. තවත් පැය බාගයකින් පමණ උණු උණුවේ මාළු හොද්ද බාගත හැකි විය. බිත්තරය ඉවත් කර මාළු කෑලි සහ හොදි බෙදන ලද පිඟාන ‘නඳුන්’ ඉදිරියේ තැබිණි.

“නැන්දට බැරිද මට බත් ටිකක් කවන්න?”

ඒ මැසිවිල්ල ද ඉවසා ගනිමින් ඇය ඔහුට බත් පිඬුවක් අනා මුවගට ළං කළාය. ඔහු එය යන්තමින් ගෑවෙන විටම කෑ ගැසුවේය.

“අයියෝ ‍ඔයා හොඳටම මිරිස් දාලා මං කොහොමද කන්නෙ?”

“මේ කොල්ලො විකාර කියන්ට එපා. මං මේ මාළු හැදුවේ කිරට. බොරු නැතුව කාපං.”

“එක්කො නැන්දේ... මට මාළු එපා. මට බත් ටික විතරක් කවන්ට බැරිද?”

‘ලතා’ගේ ඉවසීමේ රතු ඉර එවර නම් පැන තිබිණි. ඇයට බත් පත මේ කේඬෑරි කොල්ලාගේ ඔළුවේ හලන්නට සිතිණි. එහෙත් වැර වෑයමින් කේන්තිය නවත්වාගත් ඈ කෑමොර දුන්නාය.

“මං දැන් තෝ කියන කියන දේවල් හදල දුන්නා. තෝ ඒ එකක් ගැනවත් සැලකුවේ නෑ. ඇත්තමයි තෝ නං මාවත් මරාගෙන කන්ට උපන් යස්ස පැටියෙක්. හිටපිය අද මං මේ වගේ ජරා වැඩ ආයෙ නොකරන්ට යස පාඩමක් උගන්නන්නං.”

ඉනික්බිතිව ඇය ඉඳුල් අතින්ම ‘නඳුන්’ ඔසවා ගත්තේය. ඔහුව තදින් ඔසවා ගත් ඇය වියරුවෙන් මෙන්, පෑල දොරින් නික්ම වත්ත පහළට යන්නට පටන් ගත්තාය.

“ඈ බොල යස්ස පැටියෝ! තොට බත් කන්ටනෙ බැරි. මං අද තෝව නයාට කන්ට දානවා. හිටපිය තෝ වගේ උංගෙන් වැඩක් නෑ.”

සිය ආදරණීය නැන්දාගේ මේ වියරු විලාසයෙන් ‘නඳුන්’ බෙහෙවින් බිය විය. ඔහු මොරගසමින් හඬන්නට පටන් ගත්තේය. එහෙත් ‘ලතා’ ගමන නැවැත්වූයේ නැත. ඇය අලිපේර ගස පසුකර කැකුණ ගස ළඟින් වැට අයිනේ කොස්ගස් මණ්ඩිය දෙසට ගමන් කළාය. එක් මහ කොස් ගසක් පාමුල දැවැන්ත තුඹසක් දක්නට ලැබිණි. එය අඩි තුනහමාරක් පමණ උසින් යුක්ත විය. ‘ලතා’ තුඹසට ළංව ‘නඳුන්’ එහි බහාලන්නට මෙන් තැත් කළාය.

“අයියෝ මාව නයාට කන්ට දාන්ට එපා. බුදු නැන්දේ! ආයෙ එහෙම කරන්නෙ නැතෝ!”

මේ තුඹසේ නාගයකු සිටිනු දෑහින් දැක ඇති බැවින් ‘නඳුන්’ බෙහෙවින් භීතියට පත් විය. ඔහුගේ පියා දිනක් දැවැන්ත නයෙකු මරා ඌ ගින්නට ලා පිළිස්සූ හැටි ඔහුට මැවී පෙනුණේය. නයාගේ බියකරු පෙන ගොබය මේ දැන් තුඹසෙන් මතුවී තමන්ට දෂ්ට කරනු ඇතැයි ඔහු සිතුවේය. එබැවින් ඇගේ කෙස් කලඹේ එල්ලී හඬා වැළපෙමින් ඔහු අභය ඉල්ලා සිටියේය. ඊළඟ තත්ත්පරයේ ‘ලතා’ද කඳුළු සලමින් දරුවා කරපින්නාගෙන නිවස දෙසට පා තැබුවාය.

Tiniwick [email protected]

නව අදහස දක්වන්න