ජාම බේරගෙන රස්සාව කරනවා | දිනමිණ

ජාම බේරගෙන රස්සාව කරනවා

මම අවුරුදු 17 විතර ඉඳන් මේ රස්සාව කරන්නේ. අපි පෙට්ට්‍රල් වැඩි වුණා කියලා ගාස්තු වැඩි කළේ නැහැ. අපි කොළඹ දුවනවා වගේ හයර් එකක් ගිහින් ආපහු ආව කියලා ගාණක් ගන්නෙත් නැහැ. අපි මේ රැකියාව කරන්නේ බොහොම සාධාරණව. අපිට තිබෙන ප්‍රධානම ගැටලුව මේ ස්ථානය බේරා ගැනීම. මේ ටවුන් එකේ වාහන ඇවිල්ලා මේකේ ගැහුවම අපිට රණ්ඩු වෙන්න බැහැනේ. මේ කොටස අපිට වෙන් කරලා දීලා නැහැ. අපිට මේ පාර්ක් එක වෙන් කර ගන්න ක්‍රමයක් සලසලා දෙනවානම් ලොකු දෙයක්.

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මතුගම නගරය පැරණි දේශ සීමා බෙදීම් අනුව පස්යොදුන් කෝරළයට අයත් වෙයි. කෝට්ටේ සයවන පරාක්‍රමබාහු රාජ්‍ය කාලයේ දී ඔහුගේ අප්‍රකට අගබිසව වූ මධුරා නොහොත් මිහිරි දේවියට ශ්‍රී වර්ධන නම් කුමාරයකු විය. රජු මේ කුමරුට ප්‍රතිරාජ තනතුර ලබා දී පස්යොදුන් කෝරළයට පිටත් කර එවීය. එහි පාලන බලය උසුලන අතරතුර සිය මව වූ මිහිරි දේවිය ද සිය බල පෙදෙසට ගෙන්වා ගන්නට ප්‍රතිරාජයන්ට සිදු විය. එයට හේතු වූයේ රජ වාසලේ වූ කුමන්ත්‍රණ ව්‍යායාමයයි. මෙයින් පසු පස්යොදුන් කෝරළයේ වත්මන් අගලවත්ත සහ මතුගමට සීමාවන කලාපයේ වාස ග්‍රහණය කළ මේ බිසව නිසා මේ පෙදෙසට මාතෘ ග්‍රාම නම ව්‍යවහාර විය. එය පසුව මතුගම වූ බව පැවසේ.

ක්‍රි.ව. 1766 දී මතුගම ගමට ලියවුණු ලන්දේසි තෝම්බුවකට අනුව මුණසිංහ පෙළපතට මේ පෙදෙසහි ඉඩම් කීපයක් අයත්ව පැවති බව පෙනේ. අද මෙය දියුණු නගරයකි. මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය එහි සීමාවයි.රන්වලා ගල කඳු ශිඛරය මෙහි පවතින දර්ශනීය ස්ථානයකි. එම කන්දේ පෝෂක ප්‍රදේශයෙන් ගලා එන මැණික් ගොඩ ඇළ එකතුවන්නේ බෙන්තර ගංගාවටයි. මෙම පෙදෙසේ විශාල වපසරියක් රබර් වගාවට යට වී ඇත. එයට අමතරව කුඩා තේ වතු වැවිල්ලෙන් සිය ආදායම සරි කර ගන්නා ජනතාවකට මතුගම වාස භූමි වෙයි. පාරම්පරික ජීවන වෘත්තිය වී ගොවිතැන නමුත් වර්තමානයේ දී මෙහි ආර්ථිකය විවිධාංගීකරණය වී ඇත.

වත්මනෙහි මතුගම නගරයේ සිට ආරම්භව සිවු දිශාවන්ට විහිදී යන ප්‍රධාන මාර්ග හතරකි. ඉන් අගලවත්ත - අලුත්ගම-කළුතර හා හොරණ හා සම්බන්ධ වේ.

මෙම මාර්ග ආරම්භක ස්ථානයන්හි ස්ථාපනය වූ ත්‍රී රෝද රථ නැවතුම් හතරකි. ඉන් දිවා රාත්‍රී බේදයකින් තොරව ජනතාවට සැලසෙන්නේ ඉමහත් සේවාවකි. අද මගතොට මිතුරෝ වෙනුවෙන් කළුතර පාර ත්‍රී රෝද රථ ගාලේ හා අගලවත්ත පාර ත්‍රීරෝද රථ ගාලේ මග තොට මිතුරන් හා දොඩමළු වන්නේ ඔවුන් සිදු කරන සේවාව ඇගයීමේ අරමුණිනි.

 

කළුතර පාර ත්‍රීරෝද රථ සංගමයේ සභාපති - ඩී.එස්. තෙන්නකෝන් මහතා.

"අපට තිබෙන ලොකුම ගැටලුව මේ පාර්ක් එකේ පිට වාහන ගහන එක. නමුත් අපිට ඒ අය එක්ක රණ්ඩු කරන්න බැහැ. වාහනයක් ගැහුවම ඒක ගන්නකම් අපි බලා ඉන්න ඕන. මේ ස්ථානය අපිට නීත්‍යානුකූලව වෙන් කරලා දෙනවානම් ලොකු දෙයක්. අපි ත්‍රීවීල් ගාස්තු වැඩි කළේ නැහැ. තාම දුවන්නේ පැරණි ගාස්තුවටමයි. අද පවතින ආර්ථික තත්වය අනුව මේ රැකියාවෙන් ලැබෙන මුදල ජීවත් වෙන්න මදි. අද මම ආවේ උදේ අටට. තාම එක හයර් එකක්වත් දිව්වේ නැහැ. ඒකාලේ මම රථගාලට එනකොට මෙතන ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට රු.27 ක් ගත්තා. නමුත් අපි අය කළේ රු.20 යි. අද ක්‍රමයෙන් වැඩි වෙලා අවම මිල රු.50 යි. නමුත් අපි ඊට වඩා අය කරන්නේ නැහැ."

 

පී.රන්ජන් උදය කුමාර මහතා.

"මම මෙම රැකියාවට යොමු වෙලා දැනට අවුරුදු විසි පහක් විතර වෙනවා. එදා මෙදා තුර අපි ගැටලුවක් නැතිව රැකියාව කරගෙන යනවා. මෙයින් ලැබෙන ආදායමෙන් අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මහන්සි වෙලා කැප වෙලා රැකියාව කළාම ලැබෙන මුදල පරිස්සමින් පරිහරණය කළාම ජීවත් වෙන්න ඇති. අපි හයර් එකක් යනකොට යන කෙනා ගැන හොඳට බලලා තමා යන්නේ. ඒ නිසා ගැටලුවලට මුහුණ දීලා නැහැ."

 

කේ.සේනක මහතා.

"මම අවුරුදු 17 විතර ඉඳන් මේ රස්සාව කරන්නේ. අපි පෙට්ට්‍රල් වැඩි වුණා කියලා ගාස්තු වැඩි කළේ නැහැ. අපි කොළඹ දුවනවා වගේ හයර් එකක් ගිහින් ආපහු ආව කියලා ගාණක් ගන්නෙත් නැහැ. අපි බොහොම සාධාරණව මේ රැකියාව කරන්නේ. නමුත් අපිට තිබෙන ප්‍රධානම ගැටලුව මේ ස්ථානය බේරා ගැනීම. මේ ටවුන් එකේ වාහන ඇවිල්ලා මේකේ ගැහුවම අපිට රණ්ඩු වෙන්න බැහැනේ. මේ කොටස අපි වෙන් කරලා දීලා නැහැ. අපිට මේ පාර්ක් එක වෙන් කර ගන්න ක්‍රමයක් සලසලා දෙනවානම් ලොකු දෙයක්. දැනට අපි ගෙවීමක් කරන්නේ නැහැ. අපිට ප්‍රාදේශීය සභාවෙන් ගෙවීමක් කරන්න කිව්වා. නමුත් අපිට ස්ථිරව වෙන්කර දීමක් කරන්නේ නැහැ. අපිට ස්ථාවරත්වයක් තිබෙනවානම් අපි මුදල් බඳින්න සූදානම්."

අනුෂ කුමාර මහතා.

"මේ රැකියාව නීත්‍යානුකූලව කරන තුරු ගැටලුවක් නැහැ. කවුරු හරි ඒ තත්වයෙන් පිට යනවානම් ඒ අයට ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. අපි මේ රැකියාව බොහොම සතුටින් කරන්නේ. නීතියෙන් පිට යමක් කරන්න ගියොත් තමා ප්‍රශ්න එන්නේ. හැම රැකියාවම අද සංකීර්ණයි. තමන් දැන ගන්න ඕන තමන්ගේ ජාම බේරගෙන රැකියාව කරන්න. මේක හොඳ රක්ෂාවක්. කාටවත් යටහත් පහත් නැහැ. ඒ තත්වය තමන් රැක ගන්න ඕන. රැකියාවෙදි ප්‍රශ්න එනවා. ඒ වෙලාවට මොළේ පාවිච්චි කරලා ඒවට මුහුණ දෙන්න ඕනා."

 

 

සටහන සහ ඡායාරූප

පී.එම්.පත්මසූරිය අගලවත්ත සමූහ

නව අදහස දක්වන්න