හතේ පොතේ හරි වැරැද්ද | දිනමිණ

හතේ පොතේ හරි වැරැද්ද

“හතේ අපේ පොත” නම් වූ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත සමඟ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කථිකාවක් ඇති වී තිබේ. ඇතැම් පිරිස් මේ ග්‍රන්ථයට විරුද්ධ වන විට තවත් පිරිසක් කියන්නේ එය අනිවාර්යෙන්ම ලබා දිය යුතු අධ්‍යාපනයක් බවය. මේ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන වෛද්‍යවරුන්, මනෝ විද්‍යා සහ අධ්‍යාපනය සම්බන්ධ විද්වත් පිරිස් දක්වන අදහස් වෙනුවෙන් අද දේශපාලන කොලෝසියම වෙන්වේ.
 

ලකුණු ගන්න ඉගැන්වීමෙන් පලක් නැහැ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රභාත් ඒකනායක

ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන කාරණාව කාලයක පටන් අපේ රටේ කතා කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි හතේ වසර දරුවන්ට පොතක් මුද්‍රණය වෙන්නේ. අපේ රටේ වාර්තා වෙන වගේම නොවෙන ළමා අපයෝජන ඕනෑ තරම් තියෙනවා. කොටින්ම කියනවා නම් පාසල්වල පවා දරුවන් අනාරක්ෂිතයි. සමහර ගුරුවරුන්ට ශික්ෂණයක් නෑ. ඇතැම් විදුහල්පතිවරුන් අතින් ගැහැනු දරුවන් පිරිමි දරුවන් අපයෝජනය ලක්වූ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ පටන් ගැන්ම ඉතා යහපත්. විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා සහ නාරි විශේෂඥ වෛද්‍යවරු, ලිංගිකත්වය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය සන්නිවේදන හා ජීවන නිපුණතා ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය කියන මේ සියලු ආයතන එකතු වෙලා තමයි මේ හතේ පොතත් හදලා තියෙන්නේ. ඒ අනුව මේ පොත ලියා තියෙන්නේ ඒ වගේ විශේෂඥ දැනුවත්භාවයක් තිබෙන පිරිසක්.

මේ පොත ඉතා සරලව, ශික්ෂණයකින් යුතුව ලියැවිලා තියෙන පොතක්. දරුවන්ට අත්‍යවශ්‍ය ලිංගික දැනුමක් මේ පොත මඟින් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදියට මාසික ඔසප්වීම ගැන, ගැහැනු දරුවෙක් හා ගුරුවරියක් අතර සංවාදයක් ඇති වෙනවා. ඒ දිනවල දැරිය තමන්ගේ සුවතාව ගැන සැලකිලිමත් විය යුතු ආකාරය ගැන ගුරුවරිය කියා දෙනවා. මේ පොතේ තවත් දෙබසකින් කියා දෙන්නේ වැඩිහිටියකුගේ ලිංගික අතවරයකින් බේරෙන්නේ කොහොමද කියලා. මේ විදියට දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඇත්තටම විශේෂඥ වෛද්‍යවරුන් මේ කරලා තියෙන්නේ පින් ලැබෙන වැඩක්. ඒත් මේ රටේ තලේබාන්වරු වගේ ඉන්න සමහර අන්තවාදී කොටස් මේ දැනුම ලබා දෙනවාට විරුද්ධයි. ඒ අය බුද්ධාගම ගැනවත් ලිංගිකත්වය ගැනවත් හරිහැටි නොදන්න අයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2009 වසරේදී ලිංගික අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික මාර්ගෝපදේශන සංග්‍රහයක් නිකුත් කරනවා. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් එහි නිර්දේශ කළා. ඒ නිර්දේශවලට අනුවයි මේ කෘතිය සම්පාදනය වෙන්නේ. සෑම දරුවකුගේම අයිතීන් රැකෙන විදියට, කිසිදු ජන කොට්ඨාසයක දරුවන්ගේ හිත් නොරිදෙන ආකාරයට මේ දැනුම දිය යුතුයි. ඒ වගේම තමන්ට එරෙහිව ඇතිවෙන ලිංගික හිංසන සහ ඒවායින් ආරක්ෂා වෙන්නේ කෙසේද යන්න,අනවශ්‍ය ගැබ් ගැනීම්, ඒඩ්ස් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රිය සහ ප්‍රජනන සෞඛ්‍ය, ගැබ්ගත යුතු නිසි වයස, ගැබ් ගැනීම වළක්වා ගැනීම, ගර්භණීභාවය හා දරුවකු ඇති දැඩි කරගන්නා ආකාරය, දරුකමට ළමයෙක් හදා ගැනීම, ලිංගික අවයව පිරිසුදුභාවය සහ පැවැත්ම, ලිංගික නැඹුරුව පිළිබඳ අවබෝධය වැනි කරුණු ගැන දරුවන් දැනුවත් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. බොහෝ රටවල් තමන්ගේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ ඒ අනුව. ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල හතරෙ වසරේ පටන් ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා. සමහර ප්‍රාන්තවල හත වසර ඉඳලා ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා. ඒ නිසා අපේ රටෙත් හතේ පන්තියෙන් මේක ආරම්භවීම වැදගත්. ඒ වගේම ලිංගික අධ්‍යාපනයම නොවුණත් ඒ ආශ්‍රිත යම් දැනුමක් ප්‍රාථමික පන්තිවලටත් ලබාදීම වැදගත්.

ලිංගිකත්වය පිළිබඳ දාර්ශනික මතවාද දිහා බැලුවත් අතීතයේ පටන් ඒ කියන්නේ ඇරිස්ටෝටල්ලා පවා මේ ගැන කතා කර තිබෙනවා. තමා පිළිබඳ අවබෝධය ලබා දෙමින් අධ්‍යාපනය ලබා දිය යුතු බව ඒ අය කියා තිබෙනවා. තමා ගැන අවබෝධය ලබා දිය යුතු බව බුදුන් වහන්සේ පවා පවසා තියෙනවා. මේක බටහිර අධ්‍යාපනයෙන් කතා කෙරෙන්නේ, ප්‍රගතිශීලි අධ්‍යාපන චින්තනය සමඟයි. අතීතයේදී කියැවුණෙ විවාහය දක්වාම මේ අධ්‍යාපනය අනවශ්‍ය බවයි. නමුත් මේ දැනුම නැතිව පුද්ගලයාට සහ සමාජයට ප්‍රශ්න, වැරදි ඇතිවෙන බව තේරුම් ගිය නිසා පාසල් විෂයට විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ඇතුළත් කරන්න ප්‍රගතිශීලි අධ්‍යාපන චින්තකයන් යෝජනා කළා. ඒ අනුව ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කර තියෙනවා. එහිදී ගැඹුරු හැදෑරීමකින් පසුව තමයි ඔවුන් මේ විෂය ඇතුළත් කළේ. එහිදී ඇතුළත් කළ යුත්තේ කුමක්ද නොවිය යුත්තේ කුමක්ද කියන කාරණා ගැන ඔවුන් දැඩි සැලකිල්ලක් දක්වා තිබෙනවා.

මේ අධ්‍යාපනයට විරුද්ධව විවිධ චෝදනා එල්ල වෙනවා. ළමයින්ට ලිංගික උපක්‍රම ගැන කියා දුන්නම ඔවුන් ඒ උපක්‍රම භාවිතා කරලා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙයි; අපචාර ගැන දැනුවත් කළාම අපචාරවල යෙදෙයි; අත්හදා බැලීමට යොමු වෙයි; කියන චෝදනා එල්ල වෙනවා. මේවා ග්‍රාම්‍ය, ගෝත්‍රික චෝදනා. මේ වගේ චෝදනා එල්ල වෙන්නේ සමාජයේ පවතින ස්වභාවය නිසා. ඒ නිසා පුළුල් කථිකාවක් මඟින් මේ අධ්‍යාපනය ඇති කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. මොකද මේ දැනුම දරුවන්ට අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන්ම මේ දැනුම ලබා දෙන්න ඕනේ.

මෙහිදී විෂය මාලාව ඒ කියන්නේ, පෙළ පොතක් සකස් කරන කොට අප භාවිතා කරන සැකැස්මක් තියෙනවා. භාෂාව, සෞන්දර්යය, සාරධර්ම, හොඳ නරක කියන කාරණා ගැන අවධානය යොමු කළ යුතුවෙනවා. මේ චෝදනාවලට ලක්වෙලා තියෙන පොතේ මේ සියලු කාරණා මැනවින් නිරූපණය වෙන බවයි මගේ අදහස. දරුවන් ඉතා ප්‍රීතියෙන් සිනාසිලා ඉන්න ඡායාරූප මෙහි තියෙනවා. මේ චෝදනා නගන අයට සෞන්දර්යය ගැනත් අවබෝධයක් නැතිව ඇති. අනික නුසුදුසු වචන එහෙමත් මෙහි නැහැ. මෙය ඉතා හොඳ මට්ටමකින් ලියැවිලා තියෙන පොතක්.

මෙතැනදී කිව යුතු විශේෂ දෙයක් තියෙනවා. මේ අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන්ට මුලින් හොඳ ශික්ෂණයක් හා දැනුමක් ලබා දෙන්න ඕනේ. නැත්නම් හික්මීම සහ පුහුණුව නැති ගුරුවරු මේ පොතම පාවිච්චි කරලා දරුවන් අපයෝජනයට ලක්කරන්න පුළුවන්. එහෙම ආක්‍රමණශීලි ගුරුවරු ඉන්නවා. ඒ නිසා සේවාස්ථ පුහුණුව, ගුරු පුහුණුව මේ අයට ලබා දෙන්න ඕනේ. අනික මේ ඉගැන්වීමෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විෂය උගන්වලත් බලාපොරොත්තු වෙන්නේ ලකුණු සීයක් නම් ඉන් වැඩක් නෑ. උදාහරණයක් විදියට ආගමට ලකුණු සීයක් ගන්න දරුවෙකුට හැසිරීම නරක නම් ඒ ඉගැන්වීමෙන් වැඩක් නෑ. ඒ වගේ ලකුණුම ඉලක්ක කරනොගෙන ලිංගික අධ්‍යාපනයෙන් මනා දැනුමක් ලබා දෙමින් මානසික හා ශාරීරිකව සමබර පුරවැසියෙන් බිහි කිරීම අපේ පරමාර්ථය වෙන්න ඕනේ.

සුමේධා නවරත්න

 

සිරුරේ අයිතිය වටහාදීමත් අතිශය වැදගත්

මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිලධාරී

නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

වත්මන් සමාජ පිරිහීම තුළ ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව වැඩි වී තිබෙනවා. අතීතයේ අපේ සමාජය දැඩි සහෝදරත්වයකින් බැඳී තිබුණා. එහිදී අප සියලු දෙනා මාමා, අයියා ලෙස ඥාතීත්වයෙන් තමයි ඇමතුවේ. නමුත් මේ වන විට එම සම්බන්ධතා දුරස් වෙලා. ඒ වගේම සාරධර්ම පිරිහී තිබෙනවා. ඒ අනුව ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව වැඩි වී තිබෙනවා. ගැහැනු පිරිමි භේදයකින් තොරව එම අධ්‍යාපනය ලබා දිය යුතුයි. එය යම් කිසි විධිමත් ක්‍රමවේදයක් අනුව අපගේ සංස්කෘතික රාමුව තුළ සිදු විය යුතු බව මා විශ්වාස කරනවා. විශේෂයෙන් අපේ රට බහු ආගමික හා සංස්කෘතික රටක්. ඒ නිසා එසේ නොවුණහොත් එය අසාර්ථක විය හැකියි. ඒ වගේම එය ග්‍රාමීය වශයෙන් පවතින උප සංස්කෘතීන්ට අනුකූලව සිදු විය යුතුයි. එය කොළඹ ප්‍රදේශයේ ලබා දෙන ආකාරයට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ නොහැකි බව අප වටහා ගත යුතුයි.

කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ විෂයයක් ලෙස ඉගැන්වීම සාර්ථක වන්නේ නැහැ. එය මේ වන විටත් එය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුවත් ගුරුවරුන් එම පාඩම් කියා දීමට මැලිකමක් දක්වන බව අප දන්නවා. ගුරුවරුන්ට පහදා දීමට ගැටලුවක් තිබෙනවා වගේම ළමයිනුත් තම ගැටලු විවෘතව කතා කිරීමට මැලිකමක් දක්වනවා.

ලිංගික අධ්‍යාපනය ලබා දීමට හොඳම ක්‍රමය වන්නේ ආරාධිත දේශකයන් මගින් පවත්වන සම්මන්ත්‍රණ ආදියයි. එහිදී වයස් කාණ්ඩ අනුව එය පැවැත්විය යුතුයි. මොකද උසස් පෙළ ළමයකුට එය ලබා දෙන ක්‍රමය හය ශ්‍රේණියේ ළමයකුට ලබා දීම ප්‍රායෝගික නැහැ. වෛද්‍යවරයකු වැනි නිතර මුණ නොගැහෙන ආගන්තුක දේශකයකු නිසා, ළමයින්ටත් තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇති වන්නේ නැහැ. දේශකයාටත් දැනුම ලබා දීමේ දී අපහසුතාවයක් නැහැ.

දරුවකු කුඩා කාලයේ සිටම තම ශරීරය ගැන දැන ගෙන සිටීම වැදගත්. ඇඳුම් මගින් අප යම් යම් අවයව ආවරණය කර ගෙන සිටීම, එසේ ආවරණය කර ගෙන සිටීමේ අවශ්‍යතාව ඔවුන්ට වටහා දීම ළදරු පාසල් අවධියේ සිටම කළ හැකියි. තමන්ගේ සිරුර අයිති තමන්ට බවටත් එය ආරක්ෂා ගැනීම පිළිබඳත් යම් අවබෝධයක් එහිදී ලබා දිය හැකියි. මෙහිදී මව්පියන්ට විශේෂ වගකීමක් තිබුණත් මේ රටේ පවතින සංස්කෘතික සීමාවන් නිසා ඔවුන්ගෙන් මෙම දැනුවත් වීම සිදුවනු ඇති බව සිතිය නොහැකියි. බොහෝ විට ඔවුන්ටත් මේ පිළිබඳ විද්‍යානුකූල දැනුමක් නැහැ. එය නිවැරදිව ලබා නොදීමත් තවත් ගැටලුවක් විය හැකියි.

ගැහැනු පිරිමි භේදයකින් තොරව හෝමෝන ක්‍රියාකාරීත්වයත් සමඟ ලිංගිකත්වය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වෙන එක සාමාන්‍යයයි. ඔවුන්ට සංවේදීව කතා කළ හැකි ලෙස අධ්‍යාපන හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රමවේදයක් හදා ගත යුතුයි.

විශේෂයෙන් ලිංගික අතවර, රෝග බෝ වීම, ගුද මාර්ගයේ ගැටලු, ගර්භණී වීම, වැඩි වියට පත් නොවී ගර්භණී වීම ආදිය පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. යොවුන් වියේ දී ස්පර්ශ කිරීම් ආදියෙන් ඔවුන් ඒවාට ආස කරනවා වගේම ඇබ්බැහි වෙනවා. විශේෂයෙන් ස්වයං වින්දනය, සම ලිංගිකත්වයට ඇබ්බැහි වීම අනාගත ජීවිතයට අයහපත් බලපෑම් එල්ල කරනවා. අපගේ ක්ෂේත්‍රය තුළ අත්දකින්න ලැබෙන දෙයක් තමයි වර්තමානයේ පිරිමි ළමයි ලිංගික කටයුතු වලට වැඩි වශයෙන් යොමු වන්නේ ගැහැනු ළමයින් ගේ පෙළඹවීමටයි. එතැනදී අප දකින්නේ හික්මීම නොමැති කමයි. දකුණු ආසියාවෙන් ඒඩ්ස් රෝගීන් හඳුනා ගන්නා විට අපේ රටේ එක් ඒඩ්ස් රෝගියෙක් වත් සිටියේ නැහැ.

වයසට ගැළපෙන අයුරින් කුඩා අවධියේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඒ සඳහා වඩාත්ම ප්‍රායෝගික වන්නේ ආරාධිත දේශකයකු විසින් කරන සම්මන්ත්‍රණ. එසේ නොමැතිව පොත් අච්චු ගසා දිනපතා කියවා පාඩම් කළ යුතු දෙයක් නෙවෙයි. මේ වගේ කාරණයක් එක් වරක් කරන දේශනයකින් ඉතා හොඳින් මතක හිටිනවා. මීට අමතරව ග්‍රාමීය මට්ටමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් දැනුම ලබා දිය හැකියි.

ලිංගික අධ්‍යාපනය වගේම රටේ නීතිය පිළිබඳ අවබෝධයක් ලබා දීමත් මෙහිදී වැදගත් වෙනවා. විශේෂයෙන් තමන්ගේ ශරීරයේ අයිතිය තිබෙන්නේ තමන්ට බවත් එය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් දැන ගෙන සිටීම අවශ්‍යයයි. සිරුරට අත තැබීම පවා නීතියට විරුද්ධ බව දැන ගැනීම තුළින් ඔවුන්ට තමන් පිළිබඳ යම් ආරක්ෂිත හැඟීමක් ඇති කරනවා.

ක්‍රිසන්ති විතාරණ

 

අධ්‍යාපනයෙන් ගැටලු විසඳන්න පුළුවන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේසමාජ විද්‍යා අධ්‍යයනාංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ධම්මික හේරත්

ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ වන විට බෞද්ධ සමාජයේ කථිකාවක් ඇති වී තියෙනවා. මමත් බෞද්ධයෙක්. හැබැයි මම මේ ප්‍රශ්නය දිහා බලන්නේ, සමාජ විද්‍යාඥයෙක් විදියට මිස බෞද්ධයෙක් විදියට නොවේ. ලිංගිකත්වය හෝ ලිංගික අත්දැකීම කියන්නේ අස්වාභාවික දෙයක් නොවෙයි. ඉතාම ස්වාභාවික දෙයක්. ලෝකයේ පැවැත්ම ඇති‍ වෙන්නේ, ඒ නිසා. ඉතා කුඩා අවදියේ පවා මනුෂ්‍යයාට ලිංගික හැඟීම් තියෙනවා. සිග්මන් ෆ්‍රොයිඩ් මේ ලිංගිකත්වය පිළිබඳ පුළුල් විග්‍රහවල යෙදිලා තියෙනවා. කිරි බොන දරුවකුට පවා ලිංගික හැඟීම් තියෙන බව ඔහු පෙන්වා දී තිබෙනවා. ඒ නිසා කවුරු විසින් හෝ ලිංගික අධ්‍යාපනයක් දුන්නත් නැතත් ජානවල බලපෑම හේතුකොට ගෙන දරුවා ඒ පිළිබඳ අධ්‍යාපනය ලබා ගන්නවා.

මීට අවුරුදු තුන් හාරසියයකට කලින් නම් එහෙම අධ්‍යාපනයක් අවශ්‍යයි කියල අපේ සමාජයට හිතෙන්න නැතිව ඇති. ඒත් දැන් සමාජය හුඟක් වෙනස් වෙලා; නූතන වෙලා; පශ්චාත් නූතන වෙලා. සංස්කෘතිය පවා වෙනස් වෙලා. මේ වෙනස්වීම ඇතුළේ ලිංගිකත්වය පදනම් කරගත් ගැටලු, ප්‍රශ්න හුඟාක් මතු වෙලා. වයස 18ට පෙර ගැබ් ගැනීම් ඇතිවෙලා; ව්‍යභිචාර ඒ කියන්නේ ඥාතින් අතර ලිංගික සම්බන්ධකම් ඇති වෙලා. සමහර තාත්තලාගෙන් සහෝදරයන්ගෙන් අපයෝජනයට ලක්වෙන ගැහැනු දරු‍වෝ දරුවන් ප්‍රසූත කරන තත්ත්වයන් පවා අද තියෙනවා. ඒ හැරුණාම, ඇල්ලීම්, සිප ගැනීම් පවා අපයෝජනයට අයිතියි. මෙවැනි බොහෝ දේ සිදුවෙන්නේ අනවබෝධය හා නොදැනුවත්කම නිසයි. ඒ නිසා දරුවන්ට මේ හිංසාවලින් වැළකෙන විදිය කියාදීමට ලිංගික අධ්‍යාපනය ඉතා වැදගත්.

ලිංගික අධ්‍යාපනය දීමෙන් ලිංගිකත්වය පිළිබඳ සියලු ප්‍රශ්න විස‍ඳෙනවා කියන එක නොවෙයි මම මේ කියන්නෙ. නමුත් මේ අධ්‍යාපනය ලබාදීමෙන් බොහෝ ගැටලු විසඳා ගැනීමට පුළුවන්. මෙතැනදී ඉතා වැදගත් වෙන දෙයක් තියෙනවා. දරුවන් වෙනුවෙන් මේ පොතපත රචනා කරන අය ඒක කරන්න ඕනේ බුද්ධිමත්ව. දරුවන්ට අපයෝජනයෙන් ගැලවෙන්න උගන්වනවා මිස ලිංගික ප්‍රබෝධයක් ඇතිවන විදියට මේ පොත් රචනා නොකළ යුතුයි. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ දරුවන්ට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකිවෙන ලෙසයි. ඒ වගේම ලිංගිකත්වය ගැන බියක් ඇති නොවෙන පරිදිත් මේ පොත් ලියවෙන්න ඕනෙ. කොටින්ම කියනවා නම් මේ පොත්වලින් සිදුවෙන්න ඕනෙ ලිංගිකත්වය නිසා ඇති වී තිබෙන ගැටලු අවම කිරීම මිස, වෙනත් ගැටලු නිර්මාණය කිරීම නොවෙයි.

ලිංගික දැනුම පාසල් මට්ටමින් ලබා දිය යුතුයි. ඒක එක වසරකින් පටන් ගන්න කියලා එකක් නෑ. ප්‍රාථමික අංශයේ පටන්ම දරුවන්ගේ වයසට ඔරොත්තු දෙන ආකාරයෙන් දරුවන්ට මේ පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන්න ඕනෙ. ඒ වගේම අපේ සංස්කෘතිය ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ. මේක සිද්ධ වෙන්න ඕනෙ වයසටත් සංස්කෘතියටත් ගැලපෙන ආකාරයෙන්.

ඕනෑම වයසකදී, ඒ කියන්නෙ අත දරුවකුව සිටින කාලයේදී පවා ගැහැනු පිරිමි භේදයකින් තොරව අතවර වෙන්න පුළුවන්. ඒ නිසා දරුවාට දැනුම් තේරුම් එන කාලයේ පටන් වයසට ගැලපෙන විදියට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනෙ. මේ අධ්‍යාපනය නිසා බොහෝ අපයෝජන වළක්වා ගන්න පුළුවන්.

කුඩා කාලයේ අපයෝජනයන්ට ලක් වූ දරුවන් වැඩිහිටි වූ පසු විවිධ මානසික රෝගවලට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට මේ රෝගී තත්ත්වයන් මතුපිටට පේන්නේ නෑ. නමුත් ගැටලුකාරී තත්ත්වයන් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා විවාහයට බිය, ලිංගිකත්වයට බියවීම් සහ විවිධ අසාමාන්‍ය හැසිරීම් ආදී බොහෝ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලිංගික ගැටලු වළක්වා ගැනීමට ඉතා විශාල දායකත්වයක් ලබා දෙන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතුයි. වයසට හා සංස්කෘතියට ගැලපෙන අයුරින් හික්මීමෙන් යුතුව එය කළ යුතු වෙනවා.

සුමේධා

 

පටු සදාචාරයෙන් සැඟවිය යුතු නෑ

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර

ලෝකයේ බොහෝ රටවල ලිංගිකත්වය පිළිබදව විවෘතව කතා කරනවා. ඒ නිසා එම රටවලට මිනිසුන්ට ලිංගිකත්වය කියන දේ අමුතු දෙයක් නෙමෙයි. බටහිර රටවල් ලිංගිකත්වය පිළිබද විවෘතව කතා කළත් ශ්‍රී ලංකාවේ ඒ ආකාරයෙන් කතා කරන්න බැරි වෙලා තියෙන්නේ අපේ රටට අනන්‍ය වූ සංස්කෘතික රාමුවක් තිබෙන නිසයි.

අපේ රටේ මවගෙන් දුවටවත්, පියාගෙන් පුතාටවත් ලිංගික කරුණු පිළිබද දැනුම සම්ප්‍රේෂණය වෙන්නේ නෑ. ඒ තරමටම අපේ රටේ සංස්කෘතික වපසරිය ප්‍රබලයි. අ‍පේ සමාජයේ ලිංගිකත්වය පිළිබඳ කතා කළත් කතා වෙන්නේ වැරදි විදිහට. විශේෂයෙන්ම යහළුවන්ගෙන් මේ කරුණු සම්ප්‍රේෂණය වීම දරුවන්ට හිතකර නෑ. ඒ තුළින් දරුවන් විවිධ වැරදි ක්‍රියාකාරකම්ලට යොමු වෙන්න පුළුවන්.

පාසල තුළත් ‍ලිංගිකත්වය පිළිබඳ දරුවන්ට අවශ්‍ය දැනුම නිසි පරිදි ලබා දෙන්න බොහෝ ගුරුවරු උනන්දු වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ඇතැම් පාසල්වල ගුරුවරියන් ලිංගිකත්වය පිළිබඳ පාඩම දරුවන්ට තනි තනියෙන් කියවා ගන්න කියලා කියනවා. ගුරුවරු මේ අධ්‍යාපනය දරුවන්ට සෘජුව ලබාදීමට අපොහො‍සත් වී තිබෙන්නේ ඔවුන්ට නිසි පුහුණුව, දැනුම නැතිකම සහ ලංකාවේ තිබෙන සංස්කෘතික නිසයි.

ආහාර ඇදුම් පැලඳුම් වගේම ලිංගිකත්වය මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්.‍ තෘප්තිකර ජීවිතයක් ගත කිරීම සඳහා සහ මානව සම්පතේ පැවැත්මට ලිංගිකත්වය වැදගත්. ඒ නිසා පාසල් දරුවන් මේ ගැන නිසි පරිදි දැනුවත්භාවයක් ලැබිය යුතුයි. අද වන විට ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි දැනුමක් නැතිවීමෙන් බෙහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා.

අපෙන් උපදේශන පිළිබද ඩිප්ලෝමාව හදාරපු එක් දරුවෙක් ළමා මවුවරු පිළිබඳ අධ්‍යයනයක් කළා. මෙම අධ්‍යයනය තුළ සම්මුඛ සාකච්ජාවට පැමිණි බහුතරයක් ළමා මවුවරුන් දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලාවත්, තමා පිරිමියකු සමඟ ලිංගික හැසිරීමක යෙදී ඇති බවවත්, එහි ප්‍රතිඑලයකින් දරුවකු පිළිසිඳ ගන්න පුළුවන් කියලාවත් දැන ගෙන හිටියේ නෑ. මේ ළමා මව්වරුන්ගේ ලාබාල පිරිමි සහකරුවන්ටත් මේ දේවල් පිළිබඳ කිසිදු අවබෝධයක් තිබිලා නෑ. දනුමක් තිබුණා නම් ඔවුන් උපත් පාලනයන් භාවිත කරන්නවත් පෙළඹෙනවා. ලිංගිකත්වය පිළිබඳ පවුල තුළින්, පාසල තුළින් මෙන්ම සමාජය තුළින් ඒ ආකාරයෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි දැනුමක් ලබා නොදීමෙන් විශේෂයෙන් තරුණ ගැහැනු දරුවන් ඛේදනීය තත්ත්වයන්ට පත් වෙනවා.

විවාහ ජීවිතය තුළ ලිංගිකත්වය කියලා කියන්නේ ස්වභාවික දෙයක්. එහිදී අඹු සැමියන් තුළ අනෝන්‍ය අවබෝධය, කැපවීම, අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. විවාහ ජීවිතය තුළ නිසි පරිදි ලිංගික තෘප්තියක් ලබා ගැනීම පිළිබඳ අද සමාජයේ බහුතරයක් දෙනා දන්නේ නෑ. තමන්ගේ සැමියාව තෘප්තිමත් කරන්න බිරිඳ දන්නේ නෑ. තමන්ගේ බිරිඳ තෘප්තිමත් කරන්න සැමියා දන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියනවා. ඒකේ අනිසි ප්‍රතිඑලයක් ලෙස අනියම් සම්බන්ධතා පවත්වන බිරියන් සහ සැමියන් සමාජයේ බිහි වෙනවා. අවසානයේ දී මේ නිසා විවාහ ජීවිත විනාශ වෙනවා.

' "7 " අපේ පොතේ ' ලිංගික අවයව පිරිසිදුව තබා ගන්නේ කෙසේ ද, මල්වරය , ඒ කාලයේදී ශාරීරිකව සිදු වන වෙනස්කම් ආදී ලිංගික සෞඛ්‍ය පිළිබදව කාරණා අන්තර්ගත වෙනවා. ඒ කාරණා අපි විවෘතව කතා කළේ නැත්නම් පුංචි දරුවන් ලෙහෙසියෙන්ම අපයෝජනයට ලක් වීමට පුළුවන්. එම කරුණු 7 වන ශ්‍රේණියේ දරුවන්ට නොගැළපෙනවා කියලා මම සිතන්නේ නෑ. මෙම පොතේ 7 වන ශ්‍රේණියට නොගැළපෙන කරුණු කිහිපයක් තියනවා. උදාහරණයක් විදිහට ස්වයංවින්දනය දරුවන්ට ගැලපෙන්නේ නෑ. මම හිතන විදිහට මෙම ස්වයංවින්දනය මාතෘකාව වඩාත් ගැළපෙන්නේ 9,10 ශ්‍රේණිවලට. ඒක හතේ දරුවන්ට නුහුරු දෙයක්. එවැනි කරුණු හැරුණු කොට මෙම පොත හොඳ පොතක් කියලා කියන්න පුළුවන්.

එවැනි පොත් සම්පාදනය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශය මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. ලිංගික අධ්‍යාපනය පිළිබඳ කෘතියක් සම්පාදනය කිරීමේදී "නියාමන ව්‍යාපෘතියක් " සිදු කළ යුතු වෙනවා. ලිංගික අධ්‍යාපනය පිළිබද කරුණු ඇතුළත් කරලා කෘතියක් සම්පූර්ණයෙන් මුද්‍රණය නොකර කෘතියේ සාම්පලයක්, පාසල් සිසුන් කිහිප දෙනෙකුට, හත ශ්‍රේණි‍යේ ගුරුවරුන් කිහිප දෙනෙකුට, හත ශ්‍රේණියේ මවුපියන් කිහිප දෙනෙකුට, රටේ වෘත්තිකයන් කිහිප දෙනෙකුට, වෛද්‍යවරු කිහිප දෙනෙකුට, විශ්ව විද්‍යාලවල අධ්‍යාපන පීඨවල නිලධාරීන් ආදී පාර්ශවයන්ට පෙන්වා දිය යුතු වෙනවා. එම විවිධ පාර්ශ්වයන් තුළින් මේ කෘතිය පිළිබඳ අදහස් ගත යුතු වෙනවා. කෘතියට තව ඇතුළත් කළ යුතු දෑ, ඉවත් කළ යුතු දෑ, ආදී අඩු වැඩි කළ යුතු දෑ පිළිබඳ නිසි උපදෙස් ගෙන අවසානයේදීයි කෘතිය සමාජගත කළ යුතු වෙන්නේ. ඒ දෙය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු කර තිබුණේ නෑ.

ලිංගික අධ්‍යාපන පිළිබඳ නිසි ‍ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස උපත් පාලන ක්‍රම පිළිබදව විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කරන වැඩසටහන් යූ-ටියුබ් මාධ්‍ය ඔස්සේ විකාශනය කරන්න පුළුවන්. පුවත්පත්වලින් වුවත් අපේ රටේ සංස්කෘතියට ගැළපෙන ලෙස ලිංගිකත්වය පිළිබඳ සමාජය දැනුවත් කරන්න පුළුවන්‍. ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දරුවන්ට කියලා දෙන්න බැරි නම් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් හෝ ලිංගික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරුන් පුහුණු කර දරුවන්ට මේ දැනුම ලබා දෙන්න පුළුවන්. අපේ රටේ ජ්‍යොතිෂයට තිබෙන ගුවන් කාලය ලිංගික අධ්‍යාපනයට ලබා දෙනවා නම් වඩාත් හොඳයි. ලිංගිකත්වය කියන්නේ පටු සදාචාරයෙන් සඟවා ගෙන කතා කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න