ආර්ථික අභියෝගය! | දිනමිණ


 

ආර්ථික අභියෝගය!

අප ඉදිරියෙහි ඇති ආර්ථික අර්බුදය සුළු පටු නැත. එය විසැඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ද සුළු පටු නැත. ආර්ථික ජයග්‍රහණයක් ලද සෑම රාජ්‍යයකම දේශපාලකයන් යම් කැපවීමක් සිදු කර තිබේ. ඉහළ නිලධාරීන් යම් කැපවීමක් සිදුකර තිබේ. පොදුවේ ගත්කල සමස්ත ජනතාවම යම් කැපවීමක් සිදුකර තිබේ. විජාතික ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු වියට්නාමයේ ජනතාව ආබාධිතයන්ට හා මහල්ලන්ට යම් කාර්ය භාරයක් පවරා තිබිණි. වියට්නාමයේ එක් මහලු කතක ලියූ කවියක සඳහන් වන්නේ තමන් ඇසිපිය නොහෙළා අහස දෙස බලා සිටි බවය. අහස දෙස බලා සිටින්නේ සතුරු ගුවන් යානා ගණන් කිරීම සඳහා ය. යුද ජයග්‍රහණයට වියට්නාම ජනතාව දායක වී ඇත්තේ ඒ අයුරින් ය.

වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව වැනි රටවල් මෑතක දී ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගත් රටවල් ‍ෙලස හැඳින්විය හැකිය. මේ සෑම රාජ්‍යයකම දේශපාලකයන් කැපකිරීම් සිදුකර ඇත. නිලධාරීන් කැපකිරීම් සිදු කර ඇත. ජනතාවද කැපකිරීම් සිදුකර ඇත. මැලේසියාවේ රාජ්‍ය සේවය ලෝකයේ ඇති හොඳම රාජ්‍ය සේවාවක් ලෙස හඳුන්වනු ලැබේ. එම තත්ත්වය ගොඩනැඟීම සඳහා මහතීර් මෙහොමඩ් මහතා බලවත් පරිශ්‍රමයක් දරා ඇත. එහි රාජ්‍ය සේවය දූෂණයෙන් තොරය. අක්‍රමිකතාවෙන් තොර ය. ඒ පමණක් නොව; මහජනතාවට ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමටද මැලේසියාවේ රාජ්‍ය සේවය සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ද එබඳු තැනට ගෙන යා යුතුය.

අප මුහුණදෙන ආර්ථික අර්බුදය ඉතා සංකීර්ණය. ණය හා පොලී ගෙවීම, නැවත ණය ලබාගැනීම, රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය ඉහළ මට්ටමක පවත්වා ගැනීම, ජීවන වියදම පහත හෙළීම, ජනතාවට සහන සැලැසීම ආදී කරුණුත් ඒ අතර පවතී. මේවා එකිනෙකට සම්බන්ධ අන්තර්පරායන සම්බන්ධයක් ඇති ආර්ථික සාධක ලෙස සැලැකිය හැකි ය. නිදසුනක් ගතහොත් බදු කපා හරින විට රාජ්‍ය ආදායම අඩුවේ. ජනතා සුබ සාධනය සඳහා වැඩි ප්‍රතිපාදනයක් වෙන් කරන විට ඉදිරි සංවර්ධනය සඳහා යොදවන ආයෝජනවල ප්‍රමාණය අඩුවෙයි. වැඩි වැටුප් ලබාදෙන විට රටේ උද්ධමනය ඉහළ යයි. එවිට යළිත් ජීවන වියදම ඉහළ ගොස් ආර්ථික අර්බුදය ප්‍රසාරණය වෙයි. ආර්ථිකය දුවන්නේ එබඳු චක්‍රයක් තුළය.

ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ කිසියම් රාජ්‍යයක් සංවර්ධනය කිරීමේදී රටට හා ජනතාවට ගැළපෙන හා ඔ‍ෙරාත්තු දෙන ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවය. ගුනාර් මින්ඩාල් ජනතා සහභාගිත්වය සහිත ආර්ථික වැඩසටහන් ගැන සඳහන් කර ඇත. ආචාර්ය ඊ. එන්. ෂුමාකාර් සරල හා පුංචි වැඩසටහන් ගැන සඳහන් කර ඇත. නූතන ලිබරල් ආර්ථිකයට ඉහත කී පාර්ශ්ව දෙකෙහිම වැඩසටහන් ඇතුළත්ය. අප එක අතෙකින් නව නිෂ්පාදන කරා යොමුවිය යුතුය. තව අතෙකින් සේවා අංශය පුළුල් කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කළ යුතුය. එසේ නොවුණහොත් ලෝක ආර්ථිකය සමඟ ගැට ගැසී ඉදිරියට යෑ‍ෙම් හැකියාව අහිමි වනු ඇත.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අපට ගැළපෙන ලෙසින් ද අපට ඔරොත්තු දෙන ලෙසින් ද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ . රාජ්‍ය නායකයා රටේ සිදුවන නාස්තිකාර වියදම් කපා හැරීමට පියවර ගනිමින් සිටී. එපමණක් නොව, ඔහු ආදර්ශයෙන් ඒ බව පෙන්නුම් කර ඇත. ජනාධිපති කාර්යාලයේ අනවශ්‍ය සේවකයන් ඉවත් කර තිබේ. උපදේශකයන්ගේ ගණන අඩුකර තිබේ. ආරක්ෂක හමුදාව අඩුකර තිබේ. පරිවාර රථ ගණන අඩුකර ඇත. ජනාධිපති කාර්යාලයේ වියදම් බොහෝ සෙයින්ම අඩු වි ඇතැ’යි සිතන්නට පුළුවන. නායකයා වැදිබණ කියතොත්, පුරවැසියා එය විහිළුවට ලක් කරයි. නායකයා ආදර්ශවත් ලෙස ක්‍රියා කළහොත් පුරවැසියාට එය අනුගමනය කිරීමට සිදුවනු ඇත. ගාන්ධිතුමා සරල පැවැතුම් ඇති නායකයෙකි. ඉන්දියාවේ නූතන මිනිසා තුළ ද එම සරල බව හා චාම් බව පවතී.

දකුණු ආසියාවේ ඉහළ ම ආර්ථික වෘද්ධිය සටහන් කරගැනී‍ෙම් හැකියාව අප සතුය. ඊට බලපාන ප්‍රධාන සාධකය ලෙස සැලැකිය හැක්කේ මානව සම්පත ය. අපේ මානව සම්පත සතුව ඇති ගතික ලක්ෂණ ගැන ලෝකයේ බොහෝ දෙනා කතාකර තිබේ. අපේ සාක්ෂරතාව ඉහළ ය. කරුණු වටහා ගැනීමේ හැකියාව ඉහළ ය. නව නිපැයුම් කිරීමෙහිලා අපේ මිනිසුන් දක්වන දායකත්වය ද ඉහළ ය. ලෝක ශ්‍රම වෙළෙඳ පොළේ ද, ඉහළ තත්ත්වයක් ශ්‍රී ලංකාවට තිබේ. ශ්‍රී ලංකා‍ෙව් ශ්‍රමිකයන්ට ලෝකයේ ඕනෑම රටක ඉහළ ලංසුවක් තිබේ. අපේ ශ්‍රමිකයන් වෘත්තිකයන් බවට පත්කර ගතහොත් මානව සම්පතෙන් උපරිම ප්‍රතිඵල නෙළාගත හැකි ය. එබඳු වැඩසටහන් රාශියක් දැන් ක්‍රියාත්මක වෙයි. නූතනයේ තරුණ පරම්රාව ඒ ගැන අවදියෙන් සිටිය යුතුය.

නව අදහස දක්වන්න