ජනතාවට දුන් බදු සහන කාටවත් සාක්කුවේ දාගන්න බෑ | දිනමිණ

ජනතාවට දුන් බදු සහන කාටවත් සාක්කුවේ දාගන්න බෑ

ජයසිරි මුණසිංහ

වැට් බදු අඩු කිරීම ඇතුළු රජය පිරිනැමූ බදු සහන ප්‍රතිලාභ නිසියාකාරව ජනතාවට ලබා නොදෙන අයගෙන් නියමිත බදු අය කිරීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රකාශ කළේය.

රජය පිරිනැමූ බදු සහන එලෙසින්ම ජනතාවට ලබා නොදී සාක්කුවේ දමා ගැනීමට කිසියම් අයෙකු කටයුතු කරයි නම් ඒ අය පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බලා එම බදු මුදල් නිසි පරිදිම රජයට අය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද නඳුන් ගුරුගේ මහතා සඳහන් කළේය.

වසර 2019 දෙසැම්බර් මාසයේ ගෙවිය යුතු වැට් බදු මුදල් මේ වසරේ ජනවාරි මාසයේ 20වැනිදාට පෙර තම දෙපාර්තමේන්තුවට ගෙවීමට බදු ගෙවන්නන් හට සිදු වේ. එලෙස ‍බදු ගෙවීමේ දී පෙර වසරට සාපේක්ෂව බදු මුදල් අඩු නොවී ‍තිබේ නම් ඒ අයගෙන් ඒ මුදල් අය කර ගැනීමට ක්‍රමවේදයක් හා පසුවිපරම් කිරීමක් තම නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත් වහාම අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත 15%ක්ව පැවති වැට් බද්ද 8% දක්වා අඩු කෙරිණි. ඊට අමතරව 2%ක් වූ ජාතිය ගොඩනැඟීමේ බද්ද මුළුමනින්ම අහෝසි කරන ලදී. උපයන විට ගෙවීම් බද්දේ බදු නිදහස් සීමාව රු. ලක්ෂයේ සිට රු. ලක්ෂ 2 1/2දක්වා වැඩි කරන ලදී. එපමණක් නොව 24%ක උපරිමයක තිබූ ආදායම් බදු ප්‍රතිශතය උප‍රිමය 1‍8% දක්වා අඩු කරන ලදී. මේ‍වායින් මෙතෙක් කලක් බදු ගෙවූ බොහෝ පිරිසකට බදු වියදම් අඩුවී සහන ලැබිණි. ඒ නිසා පාරිභෝගික ජනතාවටද සහන සැලසීම සිදුවිය යුතුය. එසේ ජනතාවට සහන නොදී සහන සාක්කුවේ දමා ගැනීමට කිසිවෙකුට ඉඩ ලබානොදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කරමින් සිටින බවද නඳුන් ගුරුගේ මහතා සඳහන් කළේය.

වසර 2018 දෙසැම්බර් මාසයේ වැට් බදු ආදායම් ගෙවූ පිරිස් 2019 දෙසැම්බර් මාසයේ වැට් බදු ආදායම් ගෙවීමේදී බදු ආදායම් අඩුවී නැතිනම් ඔවුන් ජනතාවට වැට් බදු අඩු කිරීමේ සහනය ලබා නොදුන් පිරිසක් ලෙසට සොයා ගත හැකි බව සඳහන් කළ නඳුන් ගුරුගේ මහතා ඒ පිරිසගෙන් නිසි පරිදි බදු ආදායම් අය කර ගැනීමට දත්ත නිරීක්ෂණය කොට පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියක් හරහා පියවර ගන්නා බවද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

එලෙස අය කර ගන්නා මුදල් මහාභාණ්ඩාගාරයට ලබාදීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න