සුබවාදී වෙනසක් | දිනමිණ


 

සුබවාදී වෙනසක්

ශ්‍රී ලංකාවේ අටවෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරන්නට යෙදුණි. එම විවෘත කිරීම එතෙක් මෙරට පැවැති සම්ප්‍රදායන් උඩු යටිකුරු කළ ක්‍රියාදාමයක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. අප එසේ පවසන්නේ මෙවර පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීම අනවශ්‍ය අරුමෝසම්වලින් තොරව චාම්ව එහෙත් ගාම්භීරත්වයෙන් අනූනව ඉටුකෙරුණු කාර්යයක් වූ නිසාය.

ඒ අනුව අටවෙනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීම සඳහා වෙනත් අවස්ථාවල පාර්ලිමේන්තු සැසිවාර විවෘත කිරීමේ උත්සවවලදී මෙන්, ජනාධිපතිවරයාට පිරිනැමෙන ත්‍රිවිධ හමුදා උත්තමාචාර ඇතුළත් හමුදා ආචාර පෙළපාලිය පැවැත්වූයේ නැත. එසේම මෙවර එම උත්සවයට හමුදා ආචාර වෙඩිමුර, අශ්වාරෝහක බළඇණි ආදී කිසිවක් ද ඇතුළත් වූයේ නැත. මෙයට පෙර නව පාර්ලිමේන්තු සැසිවාර විවෘත කිරීම්වලදී වෙඩිමුර විසි එකක් පැවැත්වීම සිරිතක් වශයෙන් පැවතිණි. ඉහත කාරණය හේතුවෙන් පෙරේදා එනම් ජනවාරි 02දා පාර්ලිමේන්තු සංකීර්ණ භූමියේ පැවැත්වීමට නියමිතව තිබුණු හමුදා උත්තමාචාර පෙරහුරුවද අවලංගු කරන්නට යෙදුණි. බාහිර සැරසිලි ද මෙවර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීම සඳහා යොදාගැනුණේ නැත. ඉහත සියලු ආකාර වෙනස්කම්වලට මඟපෙන්වීම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අමතමින් ජනාධිපතිවරයා පළ කළ අදහස් ද කාගේත් අවධානයට යොමුවිය යුතු බව සටහන් කළ යුතුය. සිය කතාව ආරම්භයේදී ම ජනාධිපතිවරයා විසින් සියලු මැති ඇමැතිවරුනට මතක් කර දෙන්නට යෙදුණේ, කුමන පක්ෂයකට අයත් වුවත් උත්තරීතර පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින සියලු දෙනාගේ මූලික වගකීම වන්නේ රටේ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කිරීම බවයි. ඉහත යුතුකම වනාහී මෑත කාලයේදී බොහෝ මහජන නියෝජිතයන් විසින් අමතක කරන්නට යෙදුණක් බව මහජනතාව දනිති. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ ඒ පිළිබඳ වැටහීමක් එතුමාට ද පවතින බවයි. ඒ අනුව ජනතාව සතුටට පත්විය හැකි වේ.

මෙරට පාර්ලිමේන්තුවේ අතීතයේ පැවැති ගරු ගාම්භීර බවත් හරබර බවත් පිළිබඳ මතක් කර දෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නට යෙදුණේ; පාර්ලිමේන්තුව යළිත් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන, ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක්කරන, ව්‍යවස්ථාදායකයේ වගකීම නිසි ලෙස ඉටුකරන ආදර්ශවත් තැනක් බවට, ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත්කිරීමේ මූලික වගකීම ඇත්තේ මහජන නියෝජිතයනට බවයි.

ජනතා පරමාධිපත්‍යය සුරැකිය හැකිවන්නේ ජනතා අපේක්ෂාවනට ගරු කිරීමෙන් බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන්නට යෙදුණි. ජාතික ආරක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, ත්‍රස්තවාදයෙන් පමණක් නොව; අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින් සොර බියෙන් කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙන්ම කාන්තා සහ ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් ගොඩනැඟීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබිණ.

ඉතිහාසය පුරාම මෙරට පැවතුණු ගැටලුවක් වන්නේ ආදායම් නැතහොත් සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ රටේ ජනතාව අතර බෙදී යාමේ විසමතාවයි. ඇති නැති පරතරය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ ද මෙයයි. මෙරට දකුණේ කැරළි දෙකකට එක් හේතුවක් මෙන්ම උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල වසර තිහකට ආසන්න කාලයක් පැවැති උග්‍ර ගැටුමට හේතුවක් වූයේ ද සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම ජන කොටසකටම බෙදී නොයාම බව විද්වත් අදහසයි. ඒ ගැටලුව කෙරෙහි නිවැරැදි ප්‍රවේශයක් ජනාධිපතිවරයා සතු බව සැසිවාරය අමතා කළ කතාව මඟින් පැහැදිලි වීම සතුටකි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යෙදුණේ සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ ‍රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට වගබලා ගත යුතුව ඇති බවයි.

දුප්පත්කම නැති කළ හැකිවන්නේ දුප්පත්කම ඇතිවීමට හේතු හඳුනාගෙන එම හේතු නැති කිරීමෙන් බව ද එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු වටිනා අදහසකි. එහිදී ජනාධිපතිවරයාගේ විශ්වාසය වන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික පිළිවෙතක් මතය.

සෑම පුරවැසියකුටම පිළිගත හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණුවීමට උත්සාහ ගන්නා සෑම අයකුටම සම අවස්ථා ලබාදීම, ජනතා සේවය වෙනුවෙන් කැපවූ පිරිසුදු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම, දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කර සවිබල ගැන්වීම එහිදී තෝරාගන්නා මාර්ග වනු ඇත.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි වර්ධනය කිරීම සඳහා විසඳුමක් ලෙස තාක්ෂණය යොදා ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන්නට යෙදුණි. මෙරට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳ මෙතෙක් මෙරට රාජ්‍ය නායකයන් සියලු දෙනාම පාහේ චෝදනා කර ඇති නමුත් අකාර්යක්ෂමතාවයට හේතුවන කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම කෙරෙහි මෙතෙක් නිසි අවධානයක් යොමු වූ බවක් පෙනුණේ නැත. ඉහත ගැටලුවට විසඳුම් සෙවීමට තාක්ෂණය යොදාගැනීමට යෝජනා වීම අගය කළ යුතු වන්නේ එහෙයිනි.

එපමණක් නොව දැනුම කේන්ද්‍රීය ශතවර්ෂය වන මේ සියවසේ අභියෝගවලට මුහුණ දීමේදී කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, රොබෝ විද්‍යාව, ත්‍රී ඩී මුද්‍රණය, අයි ටී උපාංග වැනි අති නවීන තාක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳ ද ජනාධිපතිවරයා සිය කතාවෙන් පෙන්වා දුන්නේය. ඒ අනුව පෙනී යන්නේ ඒ මහතාගේ දර්ශනයේ නූතනභාවය සහ අනාගතවාදීභාවය බව කිව හැකිය. වර්තමානයේ දියුණුවට පත් බොහෝ රාජ්‍යයන් විශ්වාසය තබා කටයුතු කරන්නේ ද දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳව වේ.

විවෘත ආර්ථික පිළිවෙත මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1970 දශකයේ අගභාගයේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ යුගයේදී ය. එවක් පටන් මෙවක් දක්වා මෙරට සියලු රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු යම් යම් වෙනස්කම් සහිතව වුව අනුගමනය කරනු ලැබුවේ එකී ආර්ථික පිළිවෙතමය. එකී පිළිවෙතෙහිදී මූලිකත්වය දෙනු ලැබූ සංකල්පයක් වූයේ ආයෝජන යන්නය. ආයෝජනවලදී මෙතෙක් බොහෝදුරට අනුගමනය කෙරුණේ දෙන දෙයක් ලබා ගැනීම මිස රටේ අවශ්‍යතාව අනුව ආයෝජන ගෙන්වා ගැනීම නොවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ; රටේ අනාගත සංවර්ධනය සඳහා අපට අවශ්‍ය කුමන ආකාර ආයෝජන ද යන්න අප වටහාගත යුතු බවය. රටට නව තාක්ෂණය හඳුන්වා දෙන ආයෝජකයනට විශේෂ පහසුකම් ලබාදෙමින් ඔවුන් දිරිමත් කළ යුතු බවය.

මැණික් ඇතුළු ඛනිජ සම්පත්වලට අගය වැඩි කිරීමේ කර්මාන්ත හඳුන්වාදීම, විවිධ නීතිරීති බලපත්‍ර තහංචි හේතුවෙන් අඩපණ වී පවතින මෙරට සම්ප්‍රදායික ජීවනෝපායන මාර්ග වන මැණික්, උළු, ගඩොල්, වඩු, හස්ත කර්මාන්තවලට පවතින බාධා ඉවත් කර රටේ සංවර්ධනයට දායක කර ගත යුතු බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් පෙන්වා දුන්නේ එහෙයිනි.

විදෙස් සබඳතා, ව්‍යවස්ථා සංශෝධන ආදී වැදගත් අංශ ගණනාවක් කෙරෙහිම ජනාධිපතිවරයා තම අවධානය යොමුකර තිබූ අතර ඒ හැම මාතෘකාවක් දෙසම සංවර්ධනාත්මකව හා අනාගතවාදී දැක්මකින් යුතුව බැලීමට එතුමා දැක්වූ උත්සාහය ද එහිදී කැපී පෙනුණි.

ඉහත කරුණු අනුව පෙනී යන සත්‍යය වන්නේ 2020 වසරේදී ශ්‍රී ලංකාව අලුත් මාවතක නව ගමනක් යෑමට සැරසී සිටින බවය. ඒ ගමන සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදීම කාගේත් යුතුකම, වගකීම බව කිව යුතුය.

 

නව අදහස දක්වන්න