තේ දළු නිෂ්පාදනය වැඩිකිරීමේ වැඩසටහනක් අරඹනවා | දිනමිණ

තේ දළු නිෂ්පාදනය වැඩිකිරීමේ වැඩසටහනක් අරඹනවා

සම කැබිනට් ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ

තේ දළු නිෂ්පාදනය වැඩිකිරීමේ වැඩසටහනක් මේ වසරේ ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

යෝග්‍ය දේශගුණය, පාංශු සංරක්ෂණය, ක්‍රමවත් පරිදි පොහොර සහ සෙවණ ලබා දීම යන ක්‍රම හරහා ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය දෙගුණ කළ හැකි මට්ටමක පවතින බව පවසන ඇමැතිවරයා, රජය එම ඉලක්කය වෙත ගමන් කරන බවත්, එවිට එකදු තේ කර්මාන්තශාලාවක්වත් වසා දැමීමට සිදු නොවනු ඇති බවත් පෙන්වා දෙයි.

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, පසුගිය කාලයේ ලංකාවේ තේ නිෂ්පාදනය අඩුවීමට බලපෑ හේතු ලෙස පොහොර සහනාධාරය ලබා දීම නතර කිරීම, අවම කිරීම සහ අලුත් තේ පැළ ලබා නොදීම ඇතුළු ගැටලු රාශියක් පෙන්වා දෙන්න පුළුවන්. තේ දළු නිෂ්පාදනය වැඩිකිරීම සඳහා 2020 වසරේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් වගාව, නැවත වගාව සහ පාළු සිටුවීම ඇතුළු කරුණු කාරණා හරහා ලංකාවේ තේ නිෂ්පාදනය දෙගුණ කළ හැකි මට්ටමක තිබෙනවා. දැනට ලංකාවේ අක්කරයකින් මාසයකට තේ දළු කිලෝ 350 පමණයි ලබා ගන්නේ. නමුත් ඉන්දියාව සහ කෙන්යාවේ ඒ අගය කිලෝ 800 ඉක්මවා යනවා. දේශගුණය, පාංශු සංරක්ෂණය, ක්‍රමවත් ලෙස පොහොර ලබා දීම, ක්‍රමවත් ලෙස සෙවණ ලබා දීම යන ක්‍රම හරහා ශ්‍රී ලංකාවේ මෙය දෙගුණ කළ හැකි මට්ටමක තිබෙනවා. අපි ඒ ඉලක්කයට යනවා. එවිට එකම කර්මාන්තශාලාවක්වත් වහන්න වෙන්නේ නෑ. ඒවා හොඳින් විවෘත කර ගෙන හොඳින් ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ.

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි

 

නව අදහස දක්වන්න