දේශපාලන පළිගැනීම්! | දිනමිණ


 

දේශපාලන පළිගැනීම්!

යහපාලන රාජ්‍ය පාලන සමය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන් සඳහා සහන සැලැසිය යුතු යැයි රජය තීන්දු කර තිබේ. ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. අදාළ කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත බව ද වාර්තා වී ඇත. රාජ්‍ය සේවය යැයි හැඳින්වූව ද මේ සඳහා සංස්ථා, මණ්ඩල හා අධිකාරිවල සේවකයන් ද අයත් බව අවධාරණය කර තිබේ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ නියුතු විශාල පිරිසක් 2015 සිට දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා වූ සැණෙන් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් ද පවත්වාගෙන ගියේ ය.

රාජ්‍ය සේවකයන්ගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම වඩාත් දැඩි ලෙස සිදුවූයේ 1977 ආණ්ඩු පෙරැළියෙන් පසුව බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. එදා දේශපාලන පළිගැනීම කෙතෙක් දුරට රාජ්‍ය ආයතන ආක්‍රමණය කර තිබුණේ ද යත්; ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් රාජ්‍ය සේවකයන් බුරුතු පිටින් සේවයෙන් දොට්ට දැමිණි. පහරදීම්, පරිභව කිරීම්, මාරුකිරීම් පමණක් නො ව; ජයවර්ධන මහතාගේ ඡායාරූපය ඉදිරියේ වැඳ නමස්කාර කරවීම ද බලහත්කාරයෙන් සිදුකළ බව වාර්තා වී තිබේ. එය රටේ දේශපාලන සංස්කෘතියේ අඳුරු පැල්ලමක් ලෙස සටහන්වී ඇත. ඉනික්බිති සිදුවූ සෑම දේශපාලන බල හුවමාරුවක් තුළදී ද අඩු - වැඩි වශයෙන් දේශපාලන පළිගැනීම් සිදු වී ඇත.

රාජ්‍ය ආයතන තුළ සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තීරණ දෙකක් ගත යුතු බව අපගේ පිළිගැනීම ය. පළමුවන්න රටේ දේශපාලන සංස්කෘතියෙන් මේ තත්ත්වය මුලිනුපුටා දැමිය යුතුය යන්න ය. එනම්; කිසිදු දේශපාලන වෙනසක් ඉදිරියේ රාජ්‍ය ආයතන තුළ පළිගැනීමක් සිදු නොවිය යුතු ය. දෙවන්න දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සියලු දෙනාට යුක්තිය හා සාධාරණත්වය ලබා දිය යුතුය යන්න ය. එනම්; රැකියා අහිමිවූවන්ට රැකියා ලබාදිය යුතුය. වන්දි දිය යුතු අයට වන්දි ලබාදිය යුතු ය. සාධාරණ හේතු මත ඒ දෙකම ලබා දිය යුතු කෙනකු වෙතොත්; රැකියාව හා වන්දිය යන දෙකම ද ලබා දිය යුතුව තිබේ. වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටු කළ හැක්කේ ඒ මගින් පමණි. රජයක් මේවා සම්බන්ධයෙන් උනන්දු වීම වැදගත් ය.

අපේ දේශපාලන සංස්කෘතියට අනුව ආණ්ඩු වෙනසකින් පසු ආයතනවල ප්‍රධාන පුටු සඳහා දේශපාලන හිතවතුන් පත්කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. ජයවර්ධන මහතාගේ පාලන සමය යටතේ දේශපාලන හිතවතුන්ට ආයතනවල ඉහළ තනතුරක් ලබා දීම සඳහා අලුත් නිලයක් ඇති කළේ ය. එය හැඳින්වූයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන නමින් ය. සුදුසුකම් හා පළපුරුද්ද නැති පුද්ගලයෝ රැසක් මේ අනුව අර්ධ රාජ්‍ය සේවයට එක් වූහ. අලුත් ආණ්ඩුව මේ සම්ප්‍රදාය වෙනස් කර ඇති බව පෙනෙයි. රාජ්‍ය ආයතනවල තනතුරුවලට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇති අතර එහිදී පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරේ. ආයතනවලට වගකීම් විරහිත පුද්ගලයන් පත් කිරීම ද දැන් සිදුවන්නේ නැත.

යහපාලන ආණ්ඩුව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීන රාජ්‍ය සේවාව ආදී මාතෘකා සම්බන්ධයෙන් රට තුළ බරපතළ සංවාදයක් ඇති කර තිබුණද, දේශපාලන පළිගැනීම් නවතා දැමීමට ක්‍රියා කර තිබුණේ නැත. ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ ඇති පැමිණිලි දෙස බලන විට සේවකයෝ දහස් ගණනක් දේශපාලන පළිගැනීම්වලට ගොදුරු වී සිටිති. සමහරුන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට සේවයෙන් පහ කර ඇත. තව සමහරුන් වැඩ තහනමට ලක් කර ඇත. තවත් සමහරුන් නිලයෙන් පහත දමා ඇත. 2015 සිට මේ දක්වාම වැටුප් වර්ධක ලබා නොදුන් සේවකයෝද සිටිති. මෙය බලවත් අයුක්තියකි. රැකියාවේ නියුක්තව සිටි පුද්ගලයා පමණක් නොව: ඔහුගෙන් යැපෙන්නෝද මෙයින් බලවත් පීඩාවට පත්වෙති. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් ගැන මෙහි ලා සඳහන් කළ යුතුය.

යහපාලන ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ මහතාද දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන් ගැන සොයා බැලුවේය. ඔහු කමිටුවක් පත්කළ අතර එම කමිටුව පැවැතියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතේය. එහි දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ එ.ජා.ප. සාමාජිකයන් ගැන පමණක් සොයා බැලිණි. වික්‍රමසිංහ මහතා එය ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. රාජ්‍ය නායකයකු තම දේශපාලන හිතවතුන් ගැන පමණක් හෝ පක්ෂ සාමාජිකයන් ගැන පමණක් හෝ සොයා බැලීම සුදුසු දෙයක් නොවේ. දේශපාලන පළිගැනීම විවිධාකාරයෙන් සිදුවිය හැකි ය. දේශපාලන බලය ද හිමි ඉහළ නිලධරයකුට තම පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමේ අවස්ථාවක් උදා වෙයි. ඒ අනුව තම පක්ෂයේම කෙනකුගෙන් හෝ පළිගැනීමේ හැකියාව ඉහළ නිලධරයාට තිබේ. එය ද සැලැකිය හැක්කේ දේශපාලන පළිගැනීමක් හැටියට ය.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සෑම රාජ්‍ය සේවකයකුටම යුක්තිය ඉටුවිය යුතුව තිබේ. එය නොපමාව සිදුවිය යුත්තකි. ආණ්ඩුව බලයට පත් වී වැඩි කාලයක් ගත නොකොට ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඇති කිරීම ඉතා වැදගත්ය. මෙලෙස පළිගැනීමට ලක් වූ ඇතැමකු පසුවන්නේ විශ්‍රාම යෑමට ආසන්න වයසේ ය. කමිටුව අකාර්යක්ෂම නම්; එබඳු අයට යුක්තිය ඉටුවන්නේ බොහෝ ප්‍රමාදවීම් සහිතව ය. විශ්‍රාම යෑමට ආසන්නව සිටින රාජ්‍ය සේවකයකුට කාලය යන්න අතිශයින්ම වැදගත් වනු ඇත. වැඩසටහන සඳහා සාර්ථක ප්‍රචාරයක් ලබාදිය යුත්තේ පළිගැනීමට ලක්වූ ඇතැම් සේවකයන් නිවෙස්වල ද නැති නිසා ය. කෙනකුගේ රැකියාව අහිමි කිරීම ඔහු සදාකාලික අබ්බගාතයකු බවට පත් කිරීම තරම්ම සාහසික ක්‍රියාවකි. මෙය සහමුලින්ම අතුගා දැමිය යුතු ය.

ඕනෑම පුරවැසියකුට තම දේශපාලන අදහස ප්‍රකාශ කිරීමේ නිදහස තිබිය යුතු ය. ඒ නිදහසට බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමකි. තව අතෙකින් මානව හිමිකම් මායිම් නොකිරීමකි. පොදු ජනයාගේ ආණ්ඩුවකට එවැනි දේ කළ නොහැකි ය. අලුත් ආණ්ඩුව රාජ්‍ය සේවකයා සම්බන්ධයෙන් දක්වන සැබෑ උනන්දුව ගැන කෘතඥතාව පළ විය යුතුව තිබේ.

නව අදහස දක්වන්න