උසස් තාක්ෂණයට සිසුන් 30,000ක් | දිනමිණ

උසස් තාක්ෂණයට සිසුන් 30,000ක්

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

සංවර්ධනයට අවශ්‍ය පුරවැසියන් බිහි කරන බව රාජ්‍ය ඇමැති තිලංග කියයි

ප්‍රදේශවලට අවේණික ක්ෂේත්‍රවල දැනුම

ජගත් සරසවි හා එක්ව වියදම් අඩු කරනවා

දිවයිනේ පවතින උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දහසක් (30,000) පමණ ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරමින් එම ප්‍රදේශවලට අවේණික ක්ෂේත්‍රවලට අවශ්‍ය දැනුම ලබාදී රටේ සංවර්ධනයට අවශ්‍ය අනාගත පුරවැසින් බිහි කරන බව රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

යාපනය, වවුනියාව, අනුරාධපුරය උසස් තාක්ෂණ ආයතනවල පවතින ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය ඇමැතිවරයා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අනුරාධපුරය, පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ පවතින අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතම මේ බව පැවැසීය. එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,

උසස් පෙළ විභාගයට පෙනී සිට සමත් නමුත් විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වූ මේ රටේ තරුණ තරුණියන් අලුත් පරම්පරාව තාක්ෂණය සඳහා වෙන් වුණ උසස් තාක්ෂණ ආයතනවල අධ්‍යාපන කටයුතු කරන්න පැමිණෙනවා. ඒ නිසා මම හිතුවා යාපනය, වවුනියාව, අනුරාධපුරය උසස් තාක්ෂණ ආයතන අධ්‍යයනය කර ඒවායේ පවතින ගැටලු සාකච්ඡා කරමින් වර්තමාන තත්ත්වය හා අනාගතයේ එම ප්‍රදේශවලට විය යුතු දේ පිළිබඳ සාකච්ඡා කිරීමට. මේ ආයතන හරහා තරුණ තරුණියන්ට එම ප්‍රදේශවලට ආවේණික පුහුණුව ඉහළ තාක්ෂණයත් සමඟ ලබා දෙන විශේෂ පාඨමාලා හදාරන්නත් ඒ සඳහා ශිෂ්‍යයන්ට විශේෂ පුහුණුව ලබා දෙන්න හැකියාව පවතිනවා.

ඒ නිසා අපි සමස්ත රටේම ඇති උසස් තාක්ෂණ ආයතන අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහසකට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ ආයතනවලට බඳවා ගෙන තිබෙන්නේ. පූර්ණ කාලීන හා අර්ධ කාලීන පාඨමාලා සඳහා. නමුත් එය තිස්දහසක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා.

ඒ නිසා එම ආයතනවල යටිතල පහසුකම් ඒ වගේම තාක්ෂණය පැත්තෙන් අවශ්‍ය පහසුකම් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර ඒ අයගේ දැනුමත් උපයෝගී කරගෙන මෙයට අවශ්‍ය සහයෝගය ලබා ගන්නේ කොහොද යන්න මේ ආයතන පරීක්ෂාවට ලක්කර අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වනවා.

මේ අනුව සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඇති ආයතන දහ නවයම අධ්‍යයනය කර තොරතුරු ලබා ගෙන ජාතික වශයෙන් ඉදිරියට යන වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීම අපේ අපේක්ෂාවයි.

ජනාධිපතිවරයා තාක්ෂණය තුළින් ආර්ථිකය වගේම රටේ වර්ධනය ඇති කර ගන්න දියුණුව සඳහා ක්‍රියාත්මක විය යුතුයි කියා අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන නායකයෙක්. ඒ නිසා මේ පද්ධතිය තාක්ෂණික ආයතය ලෙස දියුණු කිරීමෙන් රටේ දළ දේශීය නිෂ්පාදනයත්, විරැකියාවත් වගේම සමස්ත නිෂ්පාදන ධාරිතාව තුළින් ජාත්‍යන්තරයට හොඳ නිමාවකින් යුතු අපේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමටත් හැකියාව පවතින බවද හෙතම පැවසීය.

අපි දැක්කා අම්පාර ප්‍රදේශයේ තිබෙන හාඩ් කොලේජ් ආයතනය. එහි තිබෙන්නේ ඒ පළාතට කෘෂිකර්මය පදනම් වුණ අවශ්‍යතාවක්. අනුරාධපුරයේ විශාල හැකියාවක් තිබෙනවා දියුණු කරන්න සංචාරක පද්ධතිය සමග තොරතුරු තාක්ෂණය. ඒ වගේම පරිගණක ආශ්‍රිත විශාල අංශ රාශියක් දැනටත් දියුණු කර තිබෙනවා. පොලොන්නරුවත් එසේමයි.

මේ අයුරින් ඉහළ දැනුමක් තිබෙන අය මේ ප්‍රදේශයට වැඩි කළ යුතුයි සංචාරක ක්ෂේත්‍රයට අවේණිකව. ඊට හාත්පසින්ම වෙනස් වනවා ගාල්ල, එයට වඩා වෙනස් යාපනය. මේ අනුව ප්‍රදේශයට සරිලන අයුරින් අවශ්‍ය පුහුණුව ලබා දෙමින් උපාධියක් ලබා ගැනීමට හැකි අයුරින් අනාගත තරුණ තරුණියන් පිරිසක් බිහිකරලීමටයි උත්සහා කරන්නේ.

දැනටත් අය වැයෙන් බිලියන දෙකක මුදලක් අපේ අමාත්‍යාංශයට වෙන්වෙලා තිබෙනවා. මේ ආයතන දහනමය සඳහා, හැබැයි එය අනාගතය සඳහා කරන ආයෝජනයක් එය ප්‍රමාණවත් මදි. අපි ශිෂ්‍යයන් තිස්දහසක් දක්වා වැඩි කරනවා නම් අපට බිලියන හයක පමණ මුදලක් වසරකට අවශ්‍ය වනවා.

නමුත් එය වසරක් පාසා වැඩි දියුණු කරන්නත් පුද්ගලික අංශය සමඟ සාකච්ඡා කර ඒ අය සම්බන්ධ කර ගන්නත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගෙන වියදම අඩු කර ගන්නත් අපේක්ෂා කරන බවත් ඒ අනුව මේ රට තාක්ෂණික දැනුමෙන් යුතුව සංවර්ධනය කිරීමත් නව රැකියා උත්පාදනයත් ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න