ප්‍රශ්නවලින් බැට කන ඇලපත්ගම වැසියෝ | දිනමිණ

ප්‍රශ්නවලින් බැට කන ඇලපත්ගම වැසියෝ

නිවාස ව්‍යාපෘතිය කොට උඩ

වසර ගණනාවකින් වතුර නෑ

නෑමට ඇත්තේ නළ ළිං 3යි

ඒ මදිවාට අලි කරදර

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපත්ගම ගම්මානයේ ජනතාව අනේක විධ ප්‍රශ්නවලින් බැටකන බව එම ප්‍රදේශයේ වැසියෝ පවසති.

පවුල් 200කින් සමන්විත මේ ගම්මානයේ වැසියන්ගේ ජීවිකාව වන්නේ ගොවිතැන් කටයුතුය. නැතහොත් හේන් වගාවයි. වසර ගණනාවක් වර්ෂාව නොලැබුණ නිසා තම අඹුදරුවන් ‍ පෝෂණය කිරීමට කුලියක් මලියක් සොයා ගෙන ඈත ප්‍රදේශවලට යන බව ඔවුහු කියති.

මේ ගම්මානයේ වැසියන්ගේ සමහර නිවෙස් පැල්පත්වලට සමානය. ඒවායේ කුඩා දරුවන් තබාගැනීමට නොහැකිව තමන් මහත් දුකක් විඳින බව ඔවුහු පෙන්වා දෙති.

මේ ගම්මානයේ වැසියන්ට බීමට ජලය ලබා ගැනීමට හා දිය නෑමට ඇත්තේ නළ ලිං තුනක් පමණක් බව වැසියන් පවසන අතර, මෙහි ජලය බීමට නොහැක්කේ අධික කිවුල නිසා බව ද පෙන්වා දෙති.

දැනට අවුරුදු 4-5කට පෙර සෝභිත හිමියන් විසින් එක්තරා සමාගමක් සමඟ ඒකාබද්ධ වී නිවාස 153කින් යුත් නිවාස ඉදිකිරීමට කටයුතු කර තිබුණ ද ‍බොහෝ නිවාසවල අඩිතාලම පමණක් දමා තිබුණ ද ඉන් ඉදිරියට නිවාස ඉදිවන බවක් දක්නට නොලැබේ.

වන අලි කරදරවලින් බැට කන ඔවුන් ගමනක් බිමනක් යන්නේ මරණ සහතිකය ලියාගෙන බවද ඔවුහු පවසති.

අනේක විධ ගැටලුවලින් හෙම්බත් වූ වැසියන්ගේ කථාව කියන්නට ඔවුන් අප හා එක්වූයේ මේ අයුරිණි.

එස්. නිමල් සිරි මහතා ඔවුන් විඳින දුක පැවසුවේ මෙසේය.

මේ ගමේ පවුල් 200ක් ජීවත් වෙනවා. අපේ ගම කොන්වෙලා සිටින ගමක්. අපිට කිසිම දේශපාලනඥයකු කිසිම දෙයක් කළේ නැහැ. අපේ ගමේ මිනිස්සු අනන්ත දුක් විඳිනවා. අපිට කුඹුරක් කර ගන්න, හේනක් කර ගන්න පුළුවන් වෙන්නේ වැස්සක් ආවොත් විතරයි. පසුගිය කාලේ වැස්ස තිබුණේ නැහැ. ගොඩාක් දුර ගිහිල්ලා තමයි කුලියක් මලියක් කරගෙන එන්නේ. අපේ වැවත් රොන් මඩවලින්ම පිරිලා. වැස්සක් දකිනකොට වැව පිරෙනවා. ටික දවසක් යනකොට වැව ආපහු සිඳෙනවා.

ටී. වී අශෝකා චාන්දනී මහත්මිය අප හා එක්වෙමින් ගම්වාසීන් විඳින දුක පැවැසුවේ මේ අයුරිනි.

අපේ ගමට නළ ළිං තුනයි තියෙන්නේ. වැව හිදුනම නාන්න තැනක් නැති හින්දා මේ නළ ළිංවලින් තමයි නාන්නේ. එතැන ඉඩ නැහැ මිනිස්සු පිරෙනවා. 800කට 1000 කට එතැනින් නාන්න බැරි හින්දා වැවේ තියෙන මඩ වතුර හරි නාන්න අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා. සමහර කාලවලට වැවේ තියෙන්නේ වතුර ටිකයි. ඒකත් බොර. ඒවායෙන් නෑවම ඇඟ කසනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අපේ ගමට ටැප් ලයින් නැහැ. වැස්සක් එනකල් මිනිස්සු බලාගෙන ඉන්නවා. තියෙන භාජන හැම එකකටම වතුර පුරවනවා. ඒ වතුරෙන් තමයි ටොයිලට් යන්නෙත් ගෙදර වළං පිගන් සෝදන්නෙත්.

ඩී. තුෂාර බණ්ඩා මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

මේ ගමේ මිනිස්සුන්ට අපේ සෝභිත හාමුදුරුවෝ සමාගමක් එක්ක එකතුවෙලා ගෙවල් 153ක් හදන්න මුල්ගල් තිබ්බා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ඒවායේ වැඩ නතර වුණා. සමහර ඒවායේ අඩිතාලම විතරයි. ගෙවල් කිහිපයක් නම් තරමක් දුරට ඉදිකරලා තියෙනවා. බලධාරීන් මේවා ගැන හොයලා බලන්නේ නැහැ. අහිංසක අසරණ අපිට මේ ගෙවල්වල ඉතිරි වැඩ අවසන් කර ගන්න අතේ සල්ලිත් නැහැ. සෝභිත හාමුදුරුවෝ හිටියානම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. මොනවා කරන්නද උන්වහන්සේ අපවත් වුණේ අපේ කරුමෙට. තවත් එකක් කියන්න ඕනි උන්වහන්සේ ඉන්න කාලේ ඒ උත්තමයට ලැබෙන කිරිපිටි පැකට් එකත් අපිට ගෙනල්ලා දෙනවා.

කේ. ඩී. වීරරත්න මහතා ද අප හා කථාවට එක්විය. ගමේ ජනතාව විඳින්නා වූ අප්‍රමාණ දුක් කන්දරාව අපිට කීවේ මෙසේය.

අපේ ගමේ මිනිස්සුන්ට යන එන මං නැහැ. වැස්ස නාවොත් කන්න නැහැ. සමහර පැතිවලට ජල යෝජනා ක්‍රම තියෙනවා. අපිට එහෙම නැහැ. අපේ ගමේ මිනිස්සු කුලියක් හොයාගෙන ගොඩාක් දුර යනවා. එනකල් විශ්වාසයක් නැහැ. විශ්වාස කරන්න, පිටින් කවුරු හරි අපේ ගමට හාල් ටිකක්, මිරිස් ටිකක් හරි වෙන මොනවා හරි ගෙනල්ලා දුන්නම පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒවා ගමේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඡන්ද ළං වෙනකොට අපේ ගමට පක්ෂ තුනෙන්ම එනවා. ඒක ඉවර වුණාට පස්සේ ඒ අය දකින්නත් නැහැ. ආයේත් එන්නේ ඊළඟ පාර ඡන්දෙට. එතකල් අපි උන්නද මළාද කියලා බලන්න කෙනෙක් නැහැ.

වන අලි කරදරවලින් ද මේ ගම්වාසීන් දැඩි ලෙස පීඩා විඳිති. ඒ සම්බන්ධයෙන් අප හා කථා කළේ ඒ. ගීතිකා ප්‍රිදර්ශනී මහත්මියයි.

මේ ගමේ මිනිස්සු වන අලින්ගෙන් පුදුම කරදරයක් විඳින්නේ. පාරක තොටක යන්න විදිහක් නැහැ. රැයක් දවාලක් කියලා නැහැ. දවල්ටත් අලි, රෑටත් අලි. අපිට වෙලා තියෙන්නේ ගමනක් යනවානම් මරණ සහතිකය ලියාගෙන යන්න. හේනක් කළත් අලි වනසනවා. කොහොම හරි කුඹුරක් කළත් අලි වනසනවා. සමහර දාට අලින්ගෙන් බේරෙන්න පවුල් තුන හතරක් එක ගෙදරකට එක්වෙලා රෑ එළිවෙනකම් කෑ ගගහ ඉන්නවා. අපිට අපිම හැර වෙන පිළිසරණක් නැහැ.

ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථයක් මේ ගමට නොච්චියාගම සිට කලකට පෙර පැමිණිය ද එය ද දැනට ධාවනය නොවන බවද එය තමන්ගේ ප්‍රවාහන කටයුතුවලට ප්‍රබල ගැටලුවක් බවද ගම්වාසීන් ‍ පැවසූහ.

මේ සම්බන්ධයෙන් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මන්ජරි සී චන්ද්‍රදාස මහත්මියගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

මේ ගමේ අයගේ පානීය අවශ්‍යතාව පන්සලේ ජල පිරිපහදු යන්ත්‍රයක් සවි කරලා තියෙනවා. වර්ෂාව දැන් ලැබෙන නිසා මේ ගමේ වැව් පිරිලා තියෙනවා. මේ ගමට නළ ළිං 5ක් තියෙනවා. ඒ වගේම පුද්ගලිකවත් ළිං 20ක් විතර තියෙනවා. දැනට අලි වැට කිලෝ මීටර් 8ක් විතර දිගට තියෙනවා. අලුතින් පවුල් 2-3ක් පදිංචි කළා. ඒ අයත් රැක ගන්න වනජීවී දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා තවත් කිලෝ මීටර් 2ක් දුරට අලිවැට දික් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම කිලෝ මීටර් 4ක් දුරට ජීව වැටක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවයේ දෙහි සහ හණ වගාව තමයි දාන්නේ ඒක සාර්ථක වුණොත් ජීව වැට තවත් දික් කරනවා. මේ වැට නඩත්තු කරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්. තව අපි ගමේ අයට අලි වෙඩිත් නිතරම දෙනවා. නිවාස ව්‍යාපෘතියේ ගෙවල් 153 හදන්න අපි ඉඩම් කට්ටි වෙන් කරලා දුන්නා. ඒක හදන්නේ කථානායක කාර්යාලයයි. ලින්ක් ඉන්ජිනියරින් සමාගමයි එකතු වෙලා.

තලාව සමූහ

නව අදහස දක්වන්න