මොනරුන් කුඹුර පාළු කළැයි ගොවි මහතාට දිවි එපා වෙලා | දිනමිණ

මොනරුන් කුඹුර පාළු කළැයි ගොවි මහතාට දිවි එපා වෙලා

සිය වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ කුසගින්න නිවා ගැනීමට උයනා බත්පත පවා රොස්වී යෑම නිසා දැඩිව සිත් තැවුලට පත්වී සිරුරට ගිනි අවුලවා ගෙන ජීවි⁣තයෙන් සමුගත් තනිවම අක්කර ගණනාවක් අස්වද්දනා දක්ෂ ගොවි මහතකු පිළිබඳ අනුවේදනීය සිදුවීමක් ගලෙන්බිඳුනුවැව පොලිස්වසමේ සියඹලෑව ප්‍රදේශයෙන් වාර්තා විය.

ගලෙන්බිඳුනුවැව සියඹලෑව ගම්මානයේ පදිංචිව සිටි කළු මහත්තයා නමින් හඳුන්වන ගොවි මහතා මෙලෙස තම ජීවිතයෙන් සමුගෙන ඇත්තේ තම වගාවන්ට මොනරුන් ඇතුළු වන සතුන්ගේ දෛයිනිකව සිදුවන හානි ඉවසා දරා ගැනීමට නොහැකිව බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය.

වයස අවුරුදු 60ක් පමණ වන ගොවි මහතා විවාහ නොවී තනිකඩව ජීවත් වූ පුද්ගලයකු වන අතර, ඔහු සියඹලෑව ගම්මානයෙන් එපිට පිහිටි කුඩා ගල්තලාවක් මත පැළක් අ⁣ටවාගෙන බඩ ඉරිගු ඇතුළු බෝග වර්ග වගා කරගෙන ජීවිකාව ගෙන ගොස් තිබේ. බණ-භාවනා වෙනුවෙන් ද මුල්තැනදී කටයුතු කළ ඒ මහතා ඔහුට ගෙවන්නට සිදුව තිබෙන දිවි පෙවත සම්බන්ධයෙන් කනගාටුවෙන් සිට ඇති බවත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මීට දින හතරකට පමණ ඉහතදී දහවල් ආහාරය සඳහා සහල් ලිප තබා සිටින විට මොනරුන් රෑනක් පැමිණ බඩ ඉරිගු හේනේ සිටිනු දැක මොනරුන් එළවා දැමීමට එහි ගොස් තිබේ. එහි ගොස් නැවත පැලට පැමිණෙන විට ඔහුගේ බත රොස් වී තිබෙනු දැක ජීවිතය පිළිබඳ දැඩිව කළකිරී ගෙපැලේ තිබූ ලාම්පුවේ තෙල් ඇඟට වත් කර ගෙන ඔහු ගිනි තබා ගෙන ඇත.

සිරුරට ගිනි ඇවිලී වේදනාව ඇතිවීම නිසා ගිනි ඔහු දිව විත් අසල වැවකට පැන ඇති අතර, නෑ හිත මිතුරන් එක්ව ඔහු දියෙන් ගොඩට ගෙන බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. දින හතරකට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (04) ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හා හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති අතර, එහිදී සිත් තැවුලට පත්වී සිදුකර ගත් සියදිවි නසා ගැනීමක් බව අනාවරණය විය.

 

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න