රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ | දිනමිණ

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අදාළ විෂය පථයන් ගැසට් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි

කැබිනට් අමාත්‍යවරුන්ට පත්වීම් ලබාදීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන හා වගකීම් ගැසට් නිවේදන මඟින් පවරා දීමට කැබිනට් ඇමතිවරුන් පියවර ගත යුතු බවයි.

ජෝන් සෙනෙවිරත්න, ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාල විෂය පථයන් මෙලෙස ගැසට් කර තිබේ.

අග්‍රමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශවල ජාතික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව, වෙළඳ සහ ආයෝජන දෙපාර්තමේන්තුව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, සමාගම් ලියංපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්මේන්තුව සහ තිරසාර සංවර්ධන සභාව යන ආයතන රාජ්‍ය අමාත්‍ය, ජෝන් සෙනෙවිරත්න මහතා යටතට පවරා ඇති බව සඳහන් වෙයි.

ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යටතට ණය තොරතුරු කාර්යාංශය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, අපනයන සංරක්ෂණ මණ්ඩලය, ග්‍රාමීය සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සභාව පවරා තිබේ.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා යටතේ පවතින ජාතික තරුණ සේවා සභාව, ජාතික තරුණ සේවා සම්මත අධිකාරිය, ජාතික තරුණ සේවා සමූපාකාර නායකත්ව සංවර්ධන අමාත්‍ය දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යටතට පවරා ඇති බව සඳහන් වෙයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යටතට අධ්‍යාපන ප්‍රකාශන දෙපර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රකාශන සංවර්ධන කාර්යාංය, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙලෙස පවරා තිබේ.

නව අදහස දක්වන්න