යහ පාලනයේ හිත රිදෙයි ද? | දිනමිණ


 

යහ පාලනයේ හිත රිදෙයි ද?

ආසියාවේ හා අප්‍රිකාවේ බොහොමයක් රාජ්‍යයන් ආර්ථික වශයෙන් කඩා වැටී ඇත්තේ දේශපාලකයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ නිසා යැයි, පිළිගත් ආර්ථික විශේෂඥයෝ කිහිප දෙනෙක් ම පෙන්වා දෙති. ජගත් මූල්‍යා’යතන හා ලෝක බැංකුව ද විවිධ අවස්ථාවලදී ඉහත කී රටවල දූෂණ - වංචා හා අක්‍රමිකතා ගැන සඳහන් කර ඇත. පුදුමයකට මෙන් මේවා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන හා නෛතික කටයුතු ද අසාර්ථක ය. දේශපාලන වශයෙන් රැකවරණය ලබන නිලධාරීහු සිටිති. දේශපාලන වශයෙන් සහයෝගය ලබන දූෂිත දේශපාලකයෝ ද සිටිති. ඒ අනුව බලන විට පෙනී යන්නේ දූෂණය - වංචාව හා අක්‍රමිකතා චක්‍රීය ලෙස දිගට ම සිදුවන බව ය.

මහජනයාගේ පැත්තෙන් බැලුව ද දූෂණයට හා වංචාවට එරෙහිව බලවත් හඬක් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි රටේ බහුතර ජනතාව විශ්වාසය තබා ඇත්තේ ද දූෂණයට හා වංචාවට තිත තබනු ඇතැ’යි පිළිගැනීමක් ඇති නිසා ය. යහපාලන ආණ්ඩුව ගොඩනැඟුණේ ද දූෂණයට තිත තබන බවට පො‍රොන්දුවක් ලබා දෙමින් ය. එහෙත්, දේශපාලන සංදර්ශන මිස දූෂිතයන් ඇල්ලූ බවක් පෙනෙන්නට නැත. එය යහ පාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ම පිළිගෙන තිබේ. ඉතා පිරිසුදු යැයි කියන යහපාලන ප්‍රධානීන් ද දූෂණ සිදු කර ඇති බවට ද, බලවත් අක්‍රමිකතා සිදුකර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන අන්දමට යහපාලන ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන් රැසකට එරෙහිව දූෂණ - වංචා හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි තිබේ. ඒවා නිකම් ම පැමිණිලි නොවේ. සාක්ෂි හා දත්ත සහිත ව ඉහත පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, ඇතැම් දේශපාලකයන්ට එරෙහි සාක්ෂි ලෙස ලිපි ගොනු ලැබී ඇත. මෙලෙස පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් නොවේ. ඇතැම් ඇමැතිවරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ රටේ පිළිගැනීමට ලක් වී ඇති වෘත්තීය සමිති ය. ඇතැම් ඇමැතිවරුන්ට එරෙහි ව පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ ආයතනවල විධායක නිලධාරීන්ගේ සංගම් ය. ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් කර ඇති පැමිණිලි ද මේ අතර තිබේ.

දේශපාලන වශයෙන් ඉතා සුපිරිසුදු හා නීතිගරුක දේශපාලකයකු ලෙසින් පෙනී සිටි රාජිත සේනාරත්න මහතාට එරෙහිව පාර්ශ්ව ගණනාවක් විසින් සාක්ෂි හා දත්ත සහිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ. බාල ඖෂධ ගෙන්වීමට සහයෝගය ලබා දීමක් ගැන මෙන් ම, ඒ ඔස්සේ කොමිස් ලබා ගැනීමක් පිළිබඳ චෝදනා ද ඒ අතර තිබේ. ඖෂධ ඔස්සේ දූෂණයට හා වංචාවට පාර කපා ගන්නේ නම්; එය සැලැකිය හැක්කේ ජාතික අපරාධයක් හැටියට ය. බාල ඖෂධ නිසා රෝගීන්ගේ මරණය ඉක්මන් වන්නට ඇත. රෝගී තත්ත්වය ද උත්සන්න වන්නට ඇත. දේශපාලකයන්, මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම කෙතරම් සාහසික අපරාධයක් ද?

ඊයේ පුවත්පත් මඟින් හෙළි කරන ලද තවත් වැදගත් සිද්ධියක් තිබේ. එනම්; යහපාලන ආණ්ඩුව පෘතුගාලයෙන් කුලියට ගත් ගුවන් යානාවක් ගැන ය. එම ගුවන් යානය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ ශ්‍රී ලන්කන් ඉංජිනේරුවන්ගේ විරෝධය පවතිද්දී ය. ඔවුන් ඉහත කී ගුවන් යානය පරීක්ෂා කොට එය නුසුදුසු යානාවක් ලෙස සඳහන් කර ඇත. ඉංජිනේරුවන්ගේ අනුමැතියකින් තොරව කුලියට ගත් එම යානය වෙනුවෙන් මාසිකව ගෙවිය යුතු මුදල ඇ.ඩො. පන්ලක්ෂ අසූපන්දහසකි. මේ ගුවන් යානය ගාල් කර ඇති බව ද, එය මගී ප්‍රවාහනයට නුසුදුසු බව ද, නවීකරණය සඳහා විශාල මුදලක් වැය වන බව ද වාර්තා වී ඇත. මේ අපරාධයට වගකිව යුතු දේශපාලකයා නීතිය හමුවට ගෙන ඒම වරදක් ද?

ඉන්දීය ජනතාව දේශපාලකයන්ගේ දූෂණයට හා වංචාවට එරෙහිව ද, නිලධාරීන්ගේ අක්‍රමිකතාවලට එරෙහිව හඬ නඟන්නට පටන් ගත්තේ මීට දසක කිහිපයකට පෙර සිට ය. මහජන ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟුණු ඊට දේශපාලකයන්ගේ මඟ පෙන්වීම ද ලැබිණි. ඒ අනුව දූෂණයට එරෙහි ව්‍යාපාරය අද දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී ඇත. එම ක්‍රියාවලියට මහජනයාගේ විශාල සහයෝගයක් ලැබේ. අද වන විට ඉන්දීය දේශපාලකයන්ගේ දූෂණ හා වංචා අඩු වී ඇති බව ද, රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා පහළ යමින් පවතින බව ද වාර්තා වී ඇත. මෙබඳු පරිසරයක් ශ්‍රී ලංකාවේ ද ඇති කිරීම වැදගත් ය. දිගින් - දිගට ම පරීක්ෂණ සිදු කිරීම පමණක් නොව; නීතිය ක්‍රියාත්මක වීම ද කඩිනම් විය යුතු ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන අන්දමට ඉහත පැමිණිලි විභාග කිරීම සඳහා විද්වත් කමිටු පත් කිරීම ඉතා ඉක්මනින්ම සිදු වෙයි. ඇතැම් ඇමැතිවරුන්ට එරෙහිව නැඟී ඇති චෝදනා දෙස බලනවිට ඒවා සඳහා වෙනම කමිටු පත් කිරීමට සිදුවනු ඇත. අමාත්‍යාංශ මට්ටමින් ඉහත සඳහන් විද්වත් කමිටු පත්කොට විමර්ශන ආරම්භ කිරීම වඩාත් වැදගත් බව පෙනී යයි. අගමැතිවරයා පැහැදිලි කරන ලෙස යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බහුතරය කුමන හෝ අක්‍රමිකතාවකට සම්බන්ධ බවට සැක කළ හැකි ය. ගෙවී ගිය වසර පහ තුළ රටේ ආර්ථිකය ඉතා බරපතළ ලෙස කඩා වැටීමකට ලක් වී ඇත්තේ එක අතෙකින් දූෂණ නිසා ය. තව අතෙකින් විධිමත් වැඩසටහන් නොවූ නිසා ය.

යහපාලන ආණ්ඩුවට හා එහි අගමැතිවරයාට එරෙහිව ඇති මහ බැංකු කොල්ලය පිළිබඳ චෝදනාව රටේ මෙතෙක් සිදු වී ඇති බරපතළ ම වංචාවකි. එහෙත් ඒ පිළිබඳ විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. පත්කළ කමිටුවල වාර්තා පවා ප්‍රසිද්ධ කළේ නැත. එම වාර්තාවල ඇතැම් කොටස් අතුරුදන් වී ඇත‍‍. මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු වූ ලොකුම පගා ගැහිල්ල සිදු වූයේ ද යහපාලන ආණ්ඩු සමයේ ය. දේශපාලකයන් මෙන් ම නිලධාරීන් ද යහපාලනය පෙරට දමා හොඳින් ගසා කා ඇති බව පෙනෙයි. පළමුව මේවා අග - සිට මුලට හෙළිදරව් කළ යුතු ය. දෙවනුව නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු ය. මෙලෙස දේවල් සිදුවන විට දූෂිතයන්ගේ හිත් රිදෙන්නට පුළුවන.

 

නව අදහස දක්වන්න