ශෂිකා වැඩ පෙන්වයි | දිනමිණ


 

ශෂිකා වැඩ පෙන්වයි

ප්‍රින්ස් ගුණසේකර

ශෂිකා සමරසිංහ ශ්‍රී ලංකා නෙට්බෝල් ක්ෂේත්‍රයේ මෑත කාලයේ හොඳම දක්ෂතා පෙන්වූ පුහුණුකාරිණියක් බවට පත්වෙයි. ඇයගේ පුහුණුව යටතේ හැටන් නැෂනල් බැංකු නෙට්බෝල් පිල පිට පිට වාර්තාගත ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය මෙහෙයවූ ජාතික නෙට්බෝල් ශූරතා හා වෙළඳ සේවා නෙට්බෝල් ශූරතා වසර කිහිපයක් තිස්සේම හැටන් නැෂනල් බැංකු පිල දිනාගත් අතර ඒ සඳහා මඟ පෙන්වීම ශෂිකා සමරසිංහ විසින් ලබා දුන්නාය.

2018 හා 2019 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය මෙහෙයවූ ජාතික නෙට්බෝල් ශූරතා පිට පිට හැටන් නැෂනල් බැංකුව දිනාගත් අතර වසර 2016 සිට මේ දක්වා වෙළඳ සේවා නෙට්බෝල් ශූරතා දිනා ගැනීමට ද එම කණ්ඩායම සමත්විය.

ශෂිකා සමරසිංහ වසර 2008 සිට 2014 දක්වා අවස්ථා හතරකදීම ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාව ලෙස කටයුතු කළ අතර 2009දී ආසියානු ශූරතාව ශ්‍රී ලංකා පිලට දිනා දීමට පෙරමුණ ගත්තාය.

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඇය ජාතික වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර වසර 1999දී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමග නේපාලයේ පැවැති දකුණු ආසියා ක්‍රීඩා උළෙලට එක් වූවාය. ගම්පහ සියනෑ තරු වොලිවෝල් කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඇය එම පිලට ජාතික ශූරතා රැසක් දිනාදීමට වෙහෙස වී කටයුතු කළාය.

නෙට්බෝල් හා වොලිබෝල් ක්‍රීඩා දෙකෙන්ම ජාතික කණ්ඩායම් නියෝජනය කළ අති දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස ඇගේ නාමය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයට එක්ව තිබෙන අතර දැන් පුහුණුකාරියක් ලෙසද ඇය දීප්තිමත් මෙහෙවරක නිරතව සිටින්නීය.

 

නව අදහස දක්වන්න