ජාතික තහනම් උත්තේජන මර්දන ආයතනය 2019 වසරේ ක්‍රීඩකයන් 260කට දැල එලලා | දිනමිණ


 

ජාතික තහනම් උත්තේජන මර්දන ආයතනය 2019 වසරේ ක්‍රීඩකයන් 260කට දැල එලලා

ප්‍රින්ස් ගුණසේකර

6ක් අසුවෙයි: පරීක්ෂණවලට වියදම රු.මි.11ක්

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පසුගිය වසරේ ක්‍රීඩකයන් 159ක් හා ක්‍රීඩිකාවන් 101ක් ඇතුලු ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260ක් තහනම් උත්තේජන පරීක්ෂාවට ලක්කර ඇත. එම සියලු තහනම් උත්තේජන පරීක්ෂණ විදෙස් රසායනාගාරවල සිදුකර ඇති අතර වියදම රුපියල් මිලියන 11ක් පමණ වේ.

පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේම කඩා වැදී ප්‍රධාන පෙළේ තරගාවලි 230 කදී මෙම තහනම් උත්තේජන පරීක්ෂා සිදු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය කටයුතු කළ බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. මෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් තරග නොකරන අවස්ථාවේ තහනම් උත්තේජන පරීක්ෂාවට ලක්කිරීම විශේෂත්වයකි.

එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන සංඝටක තිබූ බවට තහවුරුවී ඇති අතර එක් අයකු තහනම් උත්තේජන පරීක්ෂණය හිතා මතා මඟහැර පැනගොස් තිබිණි. එම ක්‍රීඩකයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර දැනට තාවකාලික තරග තහනමක් පනවා තිබේ.

පසුගිය වසරේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120කගේ තහනම් උත්තේජන පරීක්ෂා සිදුකොට ඇති අතර එය එක් ක්‍රීඩාවකින් සිදුකළ වැඩිම පරීක්ෂණ ගණන වේ. එම 120ක පිරිසකගෙන් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයකු තහනම් උත්තේජන ලබාගත් බවට තහවුරුවී ඇති අතර පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19කගෙන් දෙදෙනකුගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක තිබූ බවට තහවුරුවී ඇත.

රගර් ක්‍රීඩකයන් 19කගෙන් ක්‍රීඩකයකු හා මල්ලවපොර ක්‍රීඩකයන් 9කගෙන් එක් ක්‍රීඩකයකු තහනම් උත්තේජක ගත් බවට තහවුරුවී තිබේ. මෙලෙස තහනම් උත්තේජක ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග තහනම් පැනවූ අතර කිහිපදෙනකු ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගෙන පොදු සමාවක් දීමට ද පියවර ගෙන තිබිණි.

බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24ක්, ක්‍රිකට් ක්‍රීඩකයන් 16ක්, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක්, ජූඩෝ ක්‍රීඩකයන් 7ක්, පාපන්දු ක්‍රීඩකයන් 7ක්, කඩඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක්, කඹ ඇදීමේ ක්‍රීඩකයන් 4ක්, බාස්කට්බෝල් ක්‍රීඩකයන් 4ක්, වොලිබෝල් ක්‍රීඩකයන් 4ක්, බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක්, කායවර්ධන ක්‍රීඩකයන් 3ක් හා නෙට්බෝල් ක්‍රීඩිකාවන් 3ක් පසුගිය වසරේ තහනම් උත්තේජන පරීක්ෂාවලට ලක්කොට ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන සංඝටක නොමැති බවට රසායනාගාර පරීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇත.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුම්වත් කිරීම උදෙසා විශාල වැඩකොටසක් සිදුකරමින් පවතින අතර එයින් නිසි ප්‍රතිඵල අත්වී ඇතැයි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පැවැසීය. ඒ සදහා විශාල මුදලක් වැයකරන බවද ඒ මහතා සඳහන් කළේය.

ජාතික තහනම් උත්තේජන මර්දන නියෝජිතායතනයේ ස්වාධීනත්වය තහවුරු කරමින් පසුගිය වසරේදී එම ආයතනය සිවු මහල් නව ගොඩනැගිල්ලකට පිවිසි අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසල වෙනම ගොඩනැගිල්ලක් එම ආයතනයට පවරා දී තිබේ.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව මෙයට වසර 2කට පෙර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වැය කළ මුදල රුපියල් මිලියන 200ක් පමණ වේ.

නවීණ අංගෝපාංගවලින් හා තාක්ෂණික පහසුකම්වලින් සමන්විත එම ගොඩනැගිල්ලේ පර්යේෂණ හා විමර්ශන අංශයක් අලුතින් ආරම්භ කර ඇති අතර පුස්තකාල පහසුකම්, වෙන වෙනම පරීක්ෂණාගාර හා 150කට පමණ පහසුකම් ඇති ශ්‍රවණාගාරයක් ඉදිකොට තිබේ. මෙහි ඇති නවීණ රසායනාගාරය ඉදිරි කාලයේදී ලෝක තහනම් උත්තේජනායතනයෙන් අනුමත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

නව අදහස දක්වන්න