සිබ්ලි එංගලන්ත පිල ඔසවා තබයි | දිනමිණ


 

සිබ්ලි එංගලන්ත පිල ඔසවා තබයි

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඩොම් සිබ්ලි දකුණු අප්‍රිකානු පිල සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 391කක් දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්විය.

එංගලන්ත ටෙස්ට් පිලේ නවතම ආරම්භක පිතිකරුවා වන 24 හැවිරිදි සිබ්ලි මිනිත්තු 497ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 311කට මුහුණ දී නොදැවී ලකුණු 133ක් රැස් කළේ හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමගිනි. ඔහුගේ ඉනිම වාර්තාපොතට එක්වූයේ වසර 2012-2013දී ඉයන් බෙල් පන්දු 293කින් මන්දගාමී ටෙස්ට් ශතකය රැස් කිරීමෙන් පසුව වාර්තා වූ වඩාත් මන්දගාමී ටෙස්ට් ශතකය ලෙසටය.

අඩි 6කුත්, අඟල් 3ක් උසැති මේ දකුණත් පිතිකරුවා ක්‍රීඩා කරමින් සිටින්නේ සිය තුන්වැනි ටෙස්ට් තරගයටය.

මීට පෙර පසුගිය වසරේ නොවැම්බරයේ දී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ සිබ්ලි මේ තරගයේදී සිය අර්ධ ශතකය රැස් කිරිමට පන්දු 140ක් වැය කළ අතර ඔහුගේ ටෙස්ට් ශතකය වාර්තා වූයේ පන්දු 269කිනි.

කේප් ටවුන් හී පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල සිය පළමු ඉනිමට ලකුණු 269ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 223කට සීමාවිය. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල කඩුලු 8ක් දැවී ලකුණු 391ක් රැස් කරමින් ඉනිම අත්හිටුවූයේ ජයග්‍රහණය සඳහා ලකුණු 438ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව හමුවේ තබමිනි.

නව අදහස දක්වන්න