නවසීලන්ත ටෙස්ට් තරගමාලාව 3-0කින් ඔස්ට්‍රේලියාව ජය ගනී | දිනමිණ


 

නවසීලන්ත ටෙස්ට් තරගමාලාව 3-0කින් ඔස්ට්‍රේලියාව ජය ගනී

නේදන් ලියොන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් තරගය ලකුණු 279ක ජයක් අත්කර ගත් සත්කාරක ඔස්ට්‍රේලියානුවෝ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 3-0ක් ලෙස පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ.

නවසීලන්ත පළමු ඉනිමේදිත් කඩුලු 5ක් බිඳ දැමු පිට දඟ පන්දු යවන ලියොන් දෙවැනි ඉනිමේදි ලකුණු 50කට කඩුලු 5ක් දවාලමින් තරගය පුරා කඩුලු 10ක් උදුරා ගැනීමට සමත්විය.

සිඩ්නි නුවර පැවැති මේ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 454ක් රැස් කළ අතර නවසීලන්ත පළමු ඉනිම ලකුණු 256කට සීමා විය. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල කඩුලු 2ක් දැවී ලකුණු 217ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 416ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තය හමුවේ තබමිනි. ලියොන්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්තයට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. ලකුණු 38ක් ඇතුළත නවසීලන්ත පිලේ පළමු කඩුලු 5ම බිඳ වැටුණු අතර අවසන් කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 8ක් ඇතුළතදීය. ලියොන්ට අනගි සහයක් ලබා දුන් මිචෙල් ස්ටාක් කඩුලු 3ක් දවාලීය.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 111ක් රැස් කිරීමට සමත්විය. ජෝ බර්න්ස් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩ නැගූ වෝනර් පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් රැස් කළ මානස් ලබුස්චෙන්ග් සමග එක්ව දෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාව ලකුණු 110කි. වේගවත් පිතිහරඹයක නිතරවූ ලබුස්චෙන්ග් ලකුණු 59ක් රැස් කළේය.

නව අදහස දක්වන්න