කල්ලිකුලම වැව් බැම්ම බිඳී අක්කර 400ක් ජලයෙන් යට වෙයි | දිනමිණ

කල්ලිකුලම වැව් බැම්ම බිඳී අක්කර 400ක් ජලයෙන් යට වෙයි

වවුනියාවේ ඊච්චන්කුලම ගම්මානයේ පිහිටි කල්ලිකුලම වැවේ වැව් බැම්ම 4 දා අලුයම එක් ස්ථානයකින් කැඩී ගොස් වැවේ ජලය පිටතට ගලා යෑමට පටන් ගැනීමත් සමඟම අක්කර 400 ක් පමණ මේ වන විට ජලයෙන් යට වී තිබේ.

වැව් බැම්මේ කැඩී ගිය කොටස විශාල කොටසක් බැවින් වැවේ වතුර ආරක්ෂා කර ගැනීම සඳහා කිසිම ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට නොහැකි බව ඊච්චන්කුලම ගොවි සංවිධානයේ නියෝජිතයෝ කියා සිටිති.

මෙම වැව කැඩී යෑමෙන් පහත් බිම් වලට ජලය ගලාගෙන යන නමුත් ඉන් කිසිදු ගම්මානයක වැසියන්ට හානියක් සිදු නොවන බව ඊච්චන්කුලම ග්‍රාම නිලධාරිවරයා සඳහන් කළේය. මෙම වැවේ වැව් බැම්ම 2011 වසරේ වර්ෂා සමයේදීද මේ ස්ථානයෙන්ම කැඩීයෑමෙන් පසුව තාවකාලිකව ප්‍රතිසංස්කරණය කොට තිබේ. වැව් බැම්ම කැඩීයෑමෙන් පසුව ගලායන ජලයෙන් සිය කුඹුරු යටවන අන්දම බලා සිටීම හැරෙන්නට ගොවීන්ටද කළ හැකි වෙනත් යමක් නොමැති වී තිබේ.

නව අදහස දක්වන්න